කුමාර වෙල්ගමගේ නඩුව හැර නඩු 11ක් අල්ලස් කොමිසම ඊයේත් ඉල්ලා අස්කරගෙන

පසුගිය දෙවසර තුළ අල්ලස් හෝ දූෂණ කොමිසම නඩු 50ක් ඉල්ලා අස්කරගෙන.... සිදුවන්නේ කුමක්දැයි අධිකරණය ප්‍රශ්න කරයි!

ඒ.ජේ.අබේනායක –

උප සභාපතිකමක් ඇතිකර ලංකා ගමනාගමන මණ්ඩලයට සිය හිතවතෙක් පත් කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් තවත් සැකකරුවන් පිරිසකට පවරා ඇති නඩු 11ක් ඉල්ලා අස්කරගන්නා බවත් ඊයේ (21) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

කුමාර වෙල්ගම ගේ නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස සැකකාර පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් කර නොමැති නිසා එම නඩුව ඉල්ලා අස්කරගැනීමක් සිදුනොකරන බව ද අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

මේ අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි ශ්‍රී රාගල විවෘත අධිකරණයේ දී  පැවසුවේ විත්තියේ ඉල්ලීමක් නොමැති අවස්ථාවලදී පවා  අධිකරණයේ පවරා තිබූ නඩු අල්ලස් කොමිෂන් සභාව ඉල්ලා අස්කරගෙන ඇතැයි අධිකරණයට පෙනී ගොස් ඇති බවය.


සෑම නඩු කටයුත්තකදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාකරන ආකාරය පිළිබඳ මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබුණු නඩු 50කට ආසන්න ප්‍රමාණයක් ගෙවුණු දෙවසර තුළ ඉල්ලා අස්කරගැනීමට කොමිෂන් සභාව විසින්ම පියවර ගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින-

Exit mobile version