කුඩු සළිඳු රටට රැගෙන ඒමට කරන මෙහෙයුම නිසා පොලිස් ලොක්කෙක් භීතියට පත් වෙලා!

මැඩගස්කරයේ දී  එරට ආරක්ෂක අංශ විසින්  අත්අඩංගුවට ගත් මිනී මැරුම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු සාහසික අපරාධ රැසකට වගකිවයුතු රටේ ප්‍රධාන අපරාධකරුවන් දෙපළවන     හරක් කටා හෙවත්  නදුන් චින්තක වික්‍රමරත්න  සමග  කුඩු සළිඳු ලෙසින් හඳුන්වන  සළිඳු ගුණරත්න රටට ගෙන ඒමට සැලසුම් කිරීමත් සමග පොලිසියේ ඉහළ නිලධාරියෙක් බරපතල ලෙස කලබල වී සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කුඩු සළිඳු සහ හරක් කටා ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කර ඇති රතු නිවේදනයකට අනුව  පසුගිය 01 දා අත්අඩංගුවට පත් වන්නේ  මැඩගස්කරයේ ඉවාටෝ  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ය.

මින් පෙර ඩුබායිහි දි මෙම  අපරාධකරුවන් දෙපළ ජාත්‍යාන්තර පොලිස් වරෙන්තුව අනුව අත්අඩංගුවට ගනු ලැබුව ද ඉතාම අස්වභාවික ලෙස  රජය පාර්ශවයෙන් සිදුවූ ප්‍රමාදයන් ද හේතුවෙන් ඔවුන්ව ලංකාවට ගෙනඒම  මගහැරී ගිය අතර ලංකාවේ ඉහළම නීතිඥයින්ගේ සහයෝගය ලබාගෙන මේ දෙපළ නිදහස් වී ගියේය.

කෙසේ වෙතත් මෙවර මෙම අපරාධකරුවන් රටට රැගෙන ඒම සඳහා කඩිනමින් කටයුතු සංවිධානය වීමත්, ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වීමත්, ඉහළම රාජ්‍ය අනුමැතිය සහිතව පළපුරුදු නිලධාරීන් 04 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මැඩගස්කරය වෙත යැවීමට කටයුතු කිරීමත් හේතුවෙන් ඉහත නිලධාරියා දැඩි ලෙස නොසන්සුන් වී ඇති බව වාර්තාවේ .


පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ කුඩු සළිඳු නොගෙන්වා  හරක් කටා පමණක් මුලින්  රටට ගෙන ඒමට මෙම නිලධාරියා ඇතුළු පිරිසක් ආරම්භයේ දී යම් උත්සාහයක් දරා ඇති බවය.

කෙසේ වෙතත් කුඩු සළිඳු සහ අදාළ ඉහළ පෙළේ නිලධාරියා අතර ඇති වී තිබුණු සම්බන්ධය බුද්ධි අංශ විසින් මේ වනවිට යම් ප්‍රමාණයකට හෙළිදරව් කරගෙන ඇතැයි වාර්තා වේ.

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ සමීප ආධාරකරුවෙක්ව සිටි සළිඳුට රටින් පිටවීමට අවස්ථාව සලසා දෙමින් විමර්ශන වෙනත් අතකට යොමු කිරීම පිළිබඳ මෙම ඉහළ නිලධාරියාට චෝදනා ප්‍රමාණයක් එල්ල වී පැවතිනි.

එමෙන්ම මෙම නිලධාරියා විසින් විදේශක දී කුඩු සළිඳු මුණ ගැසී ඇති බවත් විටින් විට ඔහු සමග කළ දුරකථන සංවාදයන් පිළිබඳ දුරකථන දත්ත විශ්ලේෂණයන්ගෙන් හෙළි වී ඇති බවත් පොලිස් බුද්ධි අංශ වාර්තා කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට සළිඳු සහ හරක්කටා හැකි ඉක්මනින් රටට ගෙන ඒමේ මෙහෙයුම ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග සනාථ කරයි.

Exit mobile version