කැඩී විනාශ වෙන්න ගිය තවත් වැවක් යුද හමුදාවෙන් බේරා ගනී…

දිනසේන රතුගමගේ –

වවුනියාවේ ඉලෙයිමරදන්කුලම් පිහිටි මරයිලුප්පායිකුලම් වැව් බැම්මේ ජල කාන්දුවක් පිළිබඳ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරක් මත කඩිනමින් ක්‍රියාත්මක වූ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56වන සේනාංකයට අයත් 563 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වැලි කොට්ට අතුරා වැව් බැම්ම කඩිනමින් පිලිසකර කළහ.

කුඹුරු අක්කර 96 කට ජලය සපයන මෙම වැවේ වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය 563වන බලසේනාවේ භටපිරිස් විසින් සැපයූ අතර ඒ සඳහා ප්‍රදේශවාසීන්ගෙන් සහයෝගයද හිමිවිය.

මේ පිළිබඳ වවුනියා දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුල මහතා දැනුවත් කිරීමෙන් පසුව යුද්ධ හමුදා භටපිරිස් වෙත අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හා වැව් බැම්ම පිරවීම සඳහා අවශ්‍ය පස් සැපයීමට කටයුතු කළ අතර මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහයෝගය ලබාදුන්හ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ලබාදුන් උපදෙස් මත 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල සහ 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ අධීක්‍ෂණයෙන් 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එන්.පී.එස්.කේ. නිමල්ගොඩ ගේ මඟපෙන්වීම යටතේ භටපිරිස් විසින් වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව සිදුකළහ.

 

Exit mobile version