කන්තලේ ඩිපෝවෙන් හිඟුරක්ගොඩ හාල් මෝලකට ඇද්ද ඩීසල් ලීටර 2700ක් කොටු!

මෝලට ඩිසල් දෙන්න ලංගම සභාපතිවරයා ලිඛිත නිර්දේශයක් දුන් බව කන්තලේ ඩිපෝව කියයි...

හිඟුරක්ගොඩ ලත්පඳුර සහල් මෝලට ප්‍රවාහනය කරන බව ප්‍රකාශ කරමින් කන්තලේ ලංගම ඩිපෝවෙන් ලබා ගත්  ඩීසල් ලීටර දෙදහස් හත්සිය අසූහතක් බැරල් සහ බූලීවල පටවාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙක්  කන්තලේ අසූ හත ප්‍රදේශයේ දී කන්තලේ කෝට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සවස පොලිසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවක දී මෙම ඉන්ධන තොගය සහ කැකිරාව, මැල්සිරිපුර සහ ගොකරැල්ල ප්‍රදේශවල පදිංචි මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව ඉන්ධන සඳහා බිල් පත් තිබී ඇති අතර එම ඉන්ධන කන්තලේ ලංගම ඩිපෝවෙන් නිකුත් කර ඇති බවත්, ඉන්ධන රැගෙන යන්නේ හිඟුරක්ගොඩ ලත්පඳුර සහල් මෝලට බවත් ප්‍රකාශ කර ඇත.

අනතුරුව විමර්ශන අංශ කන්තලේ ලංගම ඩිපෝ කළමනාකරුගෙන් මේ ගැන විමසීමේ දී ඩිපෝ කළමණාකරු ප්‍රකාශ කර ඇත්තේ ලංගම සභාපතිවරයාගේ ලිඛිත නිර්දේශයක් ප්‍රකාරව මෙම ඉන්ධන නිකුත් කරන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංගම ඩිපෝ මගින්  පුද්ගලික කර්මාන්ත සඳහා  ඉන්ධන ලබා දීමේ රාජ්‍ය නිර්දේශයක් නොමැති අවස්ථාවක හිඟුරක්ගොඩට නුදුරින් ඇති පොලොන්නරුව ඩිපෝවත් මගහැර කන්තලේ ඩිපෝවෙන් මෙම ඉන්ධන ලබා දීම ප්‍රශ්නයක් බවත්, ඉන්ධන ගැටලුව සමග අස්වනු නෙලා ගත නොහැකිව අන්ත අසරණ වී සිටිනා පිරිස් වෙත ඉන්ධන බෙදා දීමේ නිසි වැඩපිළිවෙළක් නැති අවස්ථාවක පුද්ගලික සහල් මෝලක් වෙනුවෙන් මෙම ඉන්ධන නිකුත් වී ඇත්තේ කුමණ පදනමකින්දැයි සොයා බලන බවත් පොලිසිය පවසයි.

Exit mobile version