එන්නත ගත්ත මිල හෙළි කිරීම තහනම්… චීන සමාගමෙන් ලංකාවට දැඩි කොන්දේසි !

WHO අනුමත කළ ඵලදායීතාවය අඩුම කොවිඩ් එන්නත ලබා දෙන්නට චීන්නු ලංකාවට දාන සැර....

Sinovac vaccination

ශ්‍රි ලංකාවට  එන්නත් මාත්‍රා මිලියන 13ක් ලබා දීමේ එකඟතාවකට පැමිණ සිටින චීනයේ සිනොවැක් එන්නත් නිපදවන සමාගම අදාළ එන්නත් ශ්‍රි ලංකා රජය ලබා ගන්නා මිල ගණන් හෙළිදරව් කළහොත් වහාම මෙම ගනුදෙනුව අවලංගු කරන බවට කොන්දේසියක් ඇතුළු දැඩි කොන්දේසි කිහිපයක් දමා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත  පසුගිය (27) දා වාර්තා කළාය.

එම සමාගම එහි දේශීය නියෝජිතයා හරහා ඖෂධ නිෂ්පාදන , සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන   වෙත මේ බව දන්වා ඇති අතර මෙම කොන්දේසිය මිලදී ගැනීමේ ගිවිසුමට ඇතුළත් විය යුතු බවත් යම් හෙයකින් එම කොන්දේසිය කැඩුවහොත් මිල දී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට හෝ නෛතික පියවර ගන්නා බවත්ය.

සිනෝවැක් එන්නත නිපදවනු ලබන්නේ චීනයේ පෞද්ගලික සමාගමක් වන සිනෝවැක් ලයිෆ් සයන්සස් නම් සමාගම වන අතර එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ කෙලුන් ලයිෆ් සයන්සස් නම් ආයතනයයි. මෙම ආයතනය මේ වනවිට සයිනොවැක් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට අදාළව චීන සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකටද එලඹ ඇත. එම කර්මාන්ත ශාලාව පල්ලේකැලේ ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා ද රජය සමඟ එකඟතාවන්ට පැමිණ ඇත.


අදාළ ගිවිසුමේ කොන්දේසිවලට අනුව එන්නත් මිලියන 13ක් ශ්‍රි ලංකාව ලබා ගත යුතු වන අතර එයින් පළමු එන්නත් මිලියන 3 මිලදී ගන්නා විට ඊට අදාළ සම්පූර්ණ මුදලම ගෙවිය යුතු බවට කොන්දේසියක් දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත. ඒ අනුව ඉතිරි එන්නත් මාත්‍රා මිලියන 10ටම ආපසු කැඳවිය නොහැකි (Irrevocobal) ණයවර ලිපියක් ලබා දිය යුතු බවටද සඳහන් කර ඇත.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් අතුරින් අඩුම කාර්යක්ෂමතාව සහිත එන්නත ලෙස සැලකෙන්නේ මෙම එන්නත වන අතර එහි කාර්යක්ෂමතාව සියයට 50.6ක් පමණ වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සයිනෝවැක් එන්නත ශ්‍රි ලංකාව කොවිඩ් එන්නත්කරණය පිළිබඳව මූලික අවධානය යොමු කරන කාලයේදීම ශ්‍රි ලංකාවට එය අනුමත කරන ලෙස ඉල්ලීම් කර ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත අදාළ චීන සමාගම ලිපි මඟින් දැනුම් දී ඇත්තේ චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රිත මිත්‍රත්වය මත මෙම එන්නත ඉක්මනින් අනුමත කර දෙන ලෙසය.

එසේ වුවද මෙම එන්නතට අදාළ විද්‍යත්මක දත්ත ඒ වනවිට ලැබී නොමැති පසුබිමක් තුළ එම ඉල්ලීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ප්‍රතික්ෂේප වී තිබේ. කෙසේ වුවද මේ වනවිට එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේද අනුමැතිය සඳහා යළිත් ඉදිරිපත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ පිළිබඳව තම ස්ථාවරය දැන ගැනීමට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජයසුමන මහතාට ඇමතීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ විය.

Exit mobile version