චීන පොහොර ජාතික සුරක්ෂිතාව අනතුරේ හෙළන හැටි විද්වත්හු හෙළි කරති…

Soil scientist Dr Warshi Dandeniya

Dr-Warshi-Dandeniya

ආචාර්ය වර්ශි දන්දෙණිය

ක්ෂුද්‍රජීවීන් ඇතැයි තහවුරු වී ඇති චීන   කාබනික පොහොර   ආනයනය කිරීමේ අවදානම ගෙන ජාතියක ආක්ෂාව බඳු ආහාර සුරක්ෂිත තාවය ව්‍යසනයට පත් කිරීමේ අපරාධය සිදු නොකර මේ සඳහා ආයෝජනය කළ ඩොලර් මිලියන 63 පුනරාවර්තනය කිරීමට නොහැකි නම් ගඟේ මුහුදේ දැම්මා කියා හිතන ලෙසත් මේ පොහොර හරහා එනු ඇතැයි උපකල්පිත ලෙඩ රෝග වෙනුවෙන් මේ රටට අනාගතයේ දී දැරීමට සිදුවන පිරිවැය  ඩොලර් මිලියන  දහස් ගණනක් වනු ඇති බවත් පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වර්ශි දන්දෙනිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ සිරස මාවත වැඩසටහනට එක් වෙමිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාත් සහභාගී වූ මෙම සංවාදයේ දී  ඇය මෙසේ ද කීවාය.


ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා… රටේ ප්‍රමිතියට පටහැනියි

“පරීක්ෂණාගාර දෙකක ක්ෂුද්‍රජීවී ඛාණ්ඩ දෙකක් සඳහා කළ පරීක්ෂණ වාර්තා දෙකක් ඉදිරිපත් කරනවා.  ඒ පරීක්ෂණ වාර්තා දෙකෙන් පෙන්වා දෙන්නේ ඒ පරීක්ෂණයට ලක් කළ ඉලක්කගත ක්ෂුද්‍ර ජීවීන් ඇති බව හෝ නැති බව පමණයි. එහෙත් ඉන් තහවුරු කරන්නෙ නෑ අනේක දීලිර බැක්ටීරියා හෝ වෛරස මේ සාම්පලවල නෑ කියලා.“

“කෙසේ වෙතත් මේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වන එක් කාරණාවක් තියනවා. මේ දෙකෙන්ම පැහැදිලිව කියනවා මේ සාම්පලවල ක්ෂුද්‍රජීවීන් ඉන්නවා කියලා.“

“එහෙනම් කාබනික පොහොර ආනයනයේ දී අපි අනුදත් ප්‍රමිතියට එය විරුද්ධයි. අපේ ප්‍රමිතිය ඇතුළෙ කිසිම ජීවී ද්‍රව්‍යයක් ජීවියෙක් සහිත කාබනික පොහොරක් රට තුළට ගේන්න බෑ. “

ලෝකයේ කොහෙවත් මෙහෙම නෑ….

“අපි පිටරටකට ගිය පසුව ගොවිපලක ඇවිදලා තියනවා කියලා අපි කිව්වොත් අපේ පා වහන්වල පතුල් සෝදලා තමයි රට ඇතුළට ගන්නේ. එහෙම කරන්නෙ රට තුළට අහිතකර ශුද්‍රජීවියෙක් හෝ ශාක ද්‍රව්‍යයයක්   ඇතුළුවේවි කියන අවදානමින් වළකින්න. එහෙම කරන්නෙ ඒ මිනිස්සු තමන්ගෙ භූමිය සම්බන්ධව ඒ තරමටම සැලකිලිමත් සහ වගකීම් සහිත නිසා.“

“ ඒත්  අපි මේ කරන්න යන්නෙ මොනවද?. ක්ෂුද්‍ර ජීවීන් සහිතයි කියන පොහොර රට තුළට ගන්න හදනවා. ගේන පොහොරෙ අහිතකර ක්ෂුද්‍රජීවීන් නෑ කියනවා.  එහෙම කියන්නෙ කොහොම ද?. ක්ෂුද්‍රජීවීන්ගෙ හැසිරීම රඳා පවතින්නෙ ඒ ඒ පරිසර පද්ධතිවල ස්වරූපය මත. ඔවුන් ව්‍යාධි ජනකද නැද්ද කියලා කලින් පේන කියන්න බෑ. හොඳම දේ එහෙම අවදානමක් තියනවා කියලා හිතෙනවා නම් ඒ බිහිසුණු අවදානම නොගෙන ඉන්න එක.  ඇයි අපි සල්ලි දීලා ලෙඩ දාගන්නෙ.“

රටක් කියන්නෙ මොන්ටිසෝරි පන්තියක් නෙමෙයි!

“ මෙතන තියෙන්නෙ සංකල්පයේ වැරැද්දක් නෙමෙයි. අපි අන්තිමට හිරවෙලා ඉන්නෙ තීරණ ගැනීමේ වැරැද්දක් නිසා. ජනාධිපති තුමා මේ තීන්දුව ගන්න  ඇත්තේ අපේ රටේ මිනිස්සුන්ට බලපෑමක් නොකර යමක් සාර්ථක කරගන්න බැරි නිසා වෙන්න ඇති. එහි යහපත් ප්‍රතිඵල ගොඩක් තියනවා. මිනිස්සු කාබනික වගාවට හුරු වෙලා ඉන්නවා. වැඩක් කරගන්න අපේ මිනිස්සුන්ට බල කිරීම් කරන්න ඕන තමයි.   නමුත් රටක් කියන්නෙ මොන්ටිසෝරි පන්තියක් නෙමෙයි. අපට වගකීමක් තියනවා පුලුවන් තැන්වල යෝජිත විදිහට කරලා බැරි අවස්ථා කලමනාකරණය කරගන්න “

එක වැරැද්දකට උත්තර හොයන්නෙ වැරදි දාහකින්  

“ අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ ආහාර සුරක්ෂිතතාවය එක්ක. ඒ කියන්නෙ රටක ජාතික සුරක්ෂිතතාවය එක්ක. අපේ රට අතිශය සංවේදී පරිසර පද්ධති  ගණනාවක් හා අති විශාල ජෛව විවිධත්වයක් සහිත රටක්.  මේ සමස්ථය විනාශ කරමින් සල්ලි දීලා දාගන්න ලෙඩවලට චීනෙන්ම බෙහෙත් ගේනව ද?. අස්වැන්න විනාශ වුනාම ආහාර ටික ගේන්නෙත් චීනෙන් ද?.“

අපිට අතීත ආදර්ශ තියනවා. එක මාසෙන් මේ රටේ කෝපි වගාව විනාශ වුනේ දිලීරයක් නිසා.  බිබිලෙ දොඩම් වගාවට උනේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. “

මේ මරණීය අවදානම ගන්න එපා…

එක රැයකින් කාබනික සිහිනයකට පනින්නෙ නැතිව පියවරින් පියවර ගියා නම් අපිට මෙය සාර්ථක කරගන්න තිබුණා.  මේ අවදානම අපි ගන්න ඕන නෑ.. “

“ මගෙ පුද්ගලික මතය මේකයි.  පොඩි හරි අවදානමක් තියනවා නම් මේ ගේන පොහොරවල ජීවීන් ඉන්නවා මේ රටට මේ පොහොර ගන්න එපා. ඔබ කියනවා නම් මේ පොහොර තාවකාලිකව ගෙනෙන්නෙ කියලා ඒ හරහා වෙන විනාශය තාවකාලික නෑ. ඒ විනාශය සදාකාලිකයි.“

“අපි මේ ලෙඩේ ගෙනත් දාගන්නෙ පරම්පරා ගණනාවකට. දැන් අපි ඩොලර් මිලිය 63ක් නම් අපි මේ මෙට්‍රික් ටොන් අනූ නව දාහ ගේන්න වියදම් කරන්නේ මෙතනින් අපි ගේන ප්‍රශ්න ගොඩ විසඳන්න ඩොලර් මිලියන දාහකට බැරි වේවි. “

“මේ පොහොර ගේන්න යන ඩොලර් මිලිය 63 පුනරාවර්තනය කරන්ගන්න බැරි වියදමක් නම්   ගඟේ මුහුදෙ දැම්මා කියලා හිතමු. අස්වැන්න අඩු වීමට මුහුණ දෙමු. තියන පොහොර ටිකෙන් මේ වැඩේ කරමු. “

මේක මරණීය අවදානමක් ඒ අවදානම ගන්න එපා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ උපදෙස් නිසි පරිදි ප්‍රායෝගීක කිරීමට අසමත් අතාර්කික දේශපාලකයින් හා නිලධාරීන් රටට කරන්නට හදන  බිහිසුණු අපරාධය සම්බන්ධව අතිශය තාර්කිකව හා විද්‍යානුකූලව ජනතාව දැනුම්වත් කිරීමේ අවස්ථාවක් නිර්මාණය කළ මෙම වැඩසටහන විද්වත් දායකත්වය සපයමින්  පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය චන්දි රාජපක්ෂ, පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා,  පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය   චම්මි අත්තනායක සහභාගී වූහ.

 

Exit mobile version