උණුසුමක් නැති තරගයක්… ඔස්ට්‍රේලියානුවෝ විස්සයි 20 ලෝක කිරුළ දිනති!

2021 ලෝක කුසලාන විස්සයි 20 කුසලානය ඔස්ට්‍රේලියාව විසින්  ඊයේ ( 14) රාත්‍රියේ දී  දිනා ගත්තේය. ඒ නවසීලන්තය කඩුලු 08කින් පරාජයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්තයට භාර දී පන්දු රැකීම තේරුවේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ලබාත්තේය. එය සැලකිය යුතු ඉලක්කයක් වග පෙනුණි.  මුල් කඩුල්ල ලකුණු 28 දී දැවී ගියත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැගිනි. දෙවන කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් දැවී ගිය පසු පිටියට පිවිසි නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ගේයින් පේල්ස් ඉතා අගනා සම්බන්ධතාවයක් ගොඩනැන්වීය. නායක කේන් විලියම්සන් පන්දු 48ක දී ලකුණු 85ක් රැස් කළේය. පන්දුවාර විස්ස අවසන දී කඩුළු 04කට ලකුණු 172ක් රැස් කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.


නමුත් එය කෙතරම් පහසුවෙන් ලඟා විය හැකි කඩඉමක්දැයි ඔස්ට්‍රේලියානුවෝ පෙන්වූහ. පළමු කඩුල්ල ලකුණු 15ක දී දැවී ගිය බව සැබෑය. එහෙත් ඩේවිඩ් වෝනර් සහ මිෂෙල් මාර්ෂ් පන්දුවට පහර දුන්නේ තරගය තමන්ගේ කරගනිමිනි. පීඩනයක් අහලකවත් නොවීය. වෝනර් පන්දු 38ක දී ලකුණු 53ක් රැස් කළේය. මිෂෙල් මාර්ෂ් පන්දු 50ක දී ලකුණු 77ක් ලබා ගත්තේ තරගය නිමාවන තෙක් නොදැවී පිටියේ රැඳී සිටිමිනි. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18ක දී ලකුණු 28ක් රැස් කළේය.

පොදුවේ තරයේ අවසන් මහා තරගයක තිබිය යුතු තියුණු ජීවගුණය තිබුණේ නැති බව නම් කිව යුතුය.   අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පැවති තරගයේ ආශ්වාදය මීට වඩා බෙහෙවින්ම වැඩි වූ  බව ක්‍රිකට් ප්‍රේමීහු අවසන් මහා තරගය නරඹා කීහ.

දෙවැනි ඉනිම ආරම්භ වූ අවස්ථාවේ සිට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පිතිකරණයේ යෙදුණු පීඩනය රහිත විශ්වාසනීය විලාශය තරගය තමන් සතු බව ප්‍රේක්ෂක අපට තහවුරු කළේය.

කිසිම නවසීලන්ත පන්දු යවන්නෙක් ඔවුන්ට  පීඩනයක් එල්ල කළේ නැත. තනතිල්ල මැද කොටා නවසීලන්ත දඟ පන්දු යවන්නන් ඉලක්කයෙන් තොරව එවූ පන්දුවලට ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ පිළිතුරු නැවතුනේ පන්දුව ප්‍රේක්ෂකාගාර වෙත යොමු වීමෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔස්ට්‍රේලියානුවන් මව් රට බලා යන්නේ ලෝකයක් දිනා ගනිමිනි.

Exit mobile version