ඇවෙන්රා ගාර්ඩන් හෝටලය තියෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති වෙනත් රටක ද?.  ඇවෙන්රා ගාර්ඩන්   කුපාඩිකම ගැන  පී.එච්.අයි මහත්තුරු රටට කියති…

ශ්‍රියානි විජේසිංහ – 

උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටලය පරීක්ෂා කළ බවත්  පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම ශිතරකණයක ගබඩා කිරීමේ වරද දෙවන වරටත් සිදුකිරීම හේතුවෙන්   නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් හෝටල් කළමනාකරණය විසින් සමාජගත කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

Upul-Rohana
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

ලංකාවේ සෑම තැනකම සෑම තරු හෝටලක්ම   මෙම වැටලීම්වලට යටත් වූ බවත්,    එම හෝටල්වලට එරෙහිව රටේ නීතිය  ක්‍රියාත්මක කළ අවස්ථාවලදී   අදාල හෝටල් කළමනාකාරිත්වය  නීතියට හිස නැමූ බවත් පවසන සභාපතිවරයා නඩු නොදමන ලෙස බල කරමින්, වැටලීම් සිදුකළ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කර පැමිණිලි කරමින්  ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටල් පරිපාලනය දේශපාලන බලයක් ද සහිතව  මේ හැසිරෙන ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බව  පැවසුවේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ   සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ මින් මාස දෙකකට පෙර මේ ආකාරයෙන්ම මෙම හෝටලයේ මුළුතැන්ගෙය පරීක්ෂා කළ බවය. එහිදී පිසූ ආහාර සහ මස් වැනි නොපිසූ ආහාර එකම අධිශීතකරණයක් තුළ ගබඩා කිර තිබී අසුවූ අතර එම අවස්ථාවේ දි නඩු නොදමන ලෙස කළ බලපෑම් හමුවේ අවවාද කර එම ආහාරවර්ග විනාශ කිරීම පමණක් සිදුකළ බව   කීවේය.
වැටලීම කළ අවස්ථාව ශ්‍රී ලංකා මිරර් වාර්තා කර තිබූ ආකාරය.. 

අනතුරුව පසුගිය 23 වැනිදා මෙම මුළුතැන්ගෙය යළිත් වරක් පරීක්ෂා කිරීමේ දි පෙර අවවාද තඹයකට නොසලකා යළිත් වරක් අනාරක්ෂිත ලෙස පිසූ ආහාර සහ නොපිසූ අහාර එකම ශීතකරණයක ගබඩා කර තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.


මේ අවස්ථාවේ දි අදාල ශීතකරණය මුද්‍රා තබා ඉදිරි නෛතික කටයුතු සඳහා ලේඛනවලට අත්සන් ගැනීමට හෝටල් පරිපාලනයට දන්වා විනාඩි 45ක් පමණ සිටියත් කිසිවෙක් එම ලේඛණවලට අත්සන් තැබීමට ඉදිරිපත් නොවුණ අතර ඔවුන් කළේ   නඩු නොපවරණ ලෙස වැටලීම් කළ නිලධාරීන් වෙත  තදින්ම බලපෑම් කිරීම යැයි සභාපතිවරයා පැවසුවේය.

අනතුරුව වැටලීම් කළ නිලධාරීන්ට එරෙහිව බොරු අල්ලස් චෝදනාවක් ගොනුකර,  ඉතාම නින්දාසගහත ලෙස  සිය බලය යොදා නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ නොදීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස ගත හැකි උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව උපුල් රෝහණ අවධාරණය කළේය.

හෝටලයේ කිර්තිනාමය විනාශ කිරීම, සංවිධානය කළ යම් යම් ඉසව්  විනාශ කිරීම, අල්ලස් ඉල්ලීම වැනි කිසිම  පදනමක් නැති චෝදනා සහිතව  ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටල් පරිපාලනය විසින් නිකුත් කළ බව කියන, නමක් ගමක්, අත්සනක්, හෝ අඩුම තරමින් නිල ශීර්ෂ ලේඛනයක නොලියූ ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බව කී සභාපතිවරයා කප්පම් සිද්ධියක් සම්බන්ධව පොලිසියට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධව පොලිිසිය තමන් ද දැනුම්වත් කළ බව කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අනීතික බලපෑම්වලට යටත් වී මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොවන්නේ යැයි කී  උපුල් රෝහණ අදාල වැටලීම් දිගටම ක්‍රියාත්මක බවත් මෙම හෝටල් පරිපාලනයට එරෙහිව නීතිය ඉදිරියට ගොස් ඇති ගමන යළිත් ආපස්සට නොගන්නා බවත්  අවධාරණය කළේය. සැරිසරමින් ඇති ලිපිය පහත දැක්වේ.

 

 

Exit mobile version