ඇමරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දියානු ණය පහසුකම 2024 මාර්තු දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව (State Bank of India), අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා 2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමේ කාල සීමාව වසරකින් දීර්ඝ කර ඇත. මේ අනුව සංශෝධන ගිවිසුම අද (30) දින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේදී අත්සන් තැබිණ. ඉන්දීය රාජ්‍ය බැංකුවේ නිලධාරිහු මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූහ.

සංශෝධන ගිවිසුම අත්සන් තැබීමත් සමඟ, ශ්‍රී ලංකා රජයට මෙම ණය පහසුකම භාවිතා කිරීම සඳහා තවත් වසරක කාලයක් එනම් 2024 මාර්තු දක්වා අවස්ථාව හිමි වනු ඇත. පසුගිය වසරේ සිට මෙම ණය පහසුකම ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ඉන්ධන, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සහ කාර්මික අමුද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සඳහා භාවිතා කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය රජය පසුගිය වසරේ දී ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියට අනුව විවිධ ණය පහසුකම් සහ විනිමය සහයෝගයන් හරහා ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ විවිධාකාර සහයෝගයන් ලබා දී ඇත. ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහය, කඩිනමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාවය සහ ප්‍රතිසාධනය ළඟා කරගැනීම උදෙසා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ රැඳී සිටීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීම සඳහා සාක්ෂියක් වේ.


Exit mobile version