ආයුර්වේද රෝහල් කොවිඩ් පාලනයට… කැමති රෝගීන්ට දේශීය වෛද්‍ය ප්‍රතිකාර….

ඇඳන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණය යටතේ  අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ලෙස භාවිතා කිරීමට රජය  තීරණය කර තිබේ.

මේ සම්බන්ධව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අධිනීතිඥ සිසිර ජයකොඩි   අතර  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී  අද (06) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබිණි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍ය   අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වී සිටියහ.


කොවිඩ් රෝගීන් හැසිරවීම පිළිබදව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත්  මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දී රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යෝජනා වී තිබේ.

මෙම කටයුතු ක්‍රමවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රාජ්‍ය අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ආයුර්වේද රෝහල් ලබා ගැනීම යෝජනා වී ඇති අතර මෙම කටයුතු කඩිනම් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරියන් දෙදෙනා සමග පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  සතියක කාලයක් ඇතුළත අදාල කටයුතු සංවිධානය කිරීමට ද සැලසුම් වී ඇත.   .

Exit mobile version