අලි අගල් කපන මුවාවෙන්  පොලොන්නරුව නිම්න ජාතික  වනෝද්‍යානය මායිමේ  මහා පරිමාණ වැලි ජාවාරමක්!

මනම්පිටිය නිමල් ජයරත්න –  

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව නිම්න ජාතික  වනෝද්‍යානය මායිමේ  මනම්පිටිය හා කරපොල රක්ෂිතවල වන අලින්ට අගල් කැපීම මුවාවෙන් මහාපරිමාණ වැලි ජාවාරමක් ක්‍රියාත්මක වන බව  වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු පවසති.

විදුලි වැටට සමගාමීව මනම්පිටිය සිට මහවැව   දක්වා  කිලෝ මීටර් 44 ක් පමණ දුරට මෙම අගල කැපීම  සිදු කෙරේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් සඳහන් කරන්නේ මෙම භූමිය  වැලි සහිත පොළවක් නිසා, එය නිතර ඛාදනය වීම් ගිලා බැසීම් සිදු වීමත් හේතුකොටගෙන අගල්  කැපීමට සුදුසු භූමියක් නොවන බවයි.


මීට දින කිහිපයක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වන අතර වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාදුන්  මගපෙන්වීම්වලට පටහැනිව අදාල කොන්ත්‍රාත්කරු  වැලි හා පස් ජාවාරම සිදු කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර වෘත්තිකයන්ගේ සභාපති කුමාරසිරි විජේකෝන්   අප කළ මෙම විමසීමකදී සඳහන් කළේ ය.

තම සංගමය මේ පිළිබඳව නිරීක්ෂණය කළ බවත් එහිදී  කොන්ත්‍රාත්කරු  බැකෝ හා යොදා ප්‍රමිතියෙන් තොරව  අගල් කපමින් මෙහි පස් අගල දෙපසට නොයොදා ,එම් පස් සෝදා වැලි බවට පත්කර අලෙවි කරන බවත්, රක්ෂිතය තුළම වැලි අංගනයක්  වෙනම පවත්වාගෙන බවත් කුමාරසිරි   සඳහන් කළේය.

තම සංගමය මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරලධාරීන් මෙන්ම වනජීවී අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ද කුමාරසිරි විජේකෝන්  අප සමග පැවසීය.

ප්‍රදේශයේ ගොවි ජනතාව සහ පරිසරවේදීන් සඳහන් කරන්නේ  කොන්ත්‍රාත්කරු වැලි හා පස්  ලබා ගැනීමේ අරමුණින් කිසිදු  ප්‍රමිතියකින් තොරව මෙම අගල්  කැපීමෙන් වන අලි ගම් වැදීම නවතාලිය නොහැකි බවයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය පරිසර සංවේදී කලාපයක් බවත්, සෝමාවතිය, මාදුරුඔය, සිටින වන අලින්ගේ ගමන්  මාර්ගයත් මෙම අගල්  කැපීම  සිදුවන ස්ථානය හරහා වැටී ඇති බැවින් එම් ගමන් මාර්ග ඇහිරීමෙන් අලි මිනිස් ගැටුම් තවදුරටත් උග්‍ර වන බවයි. එබැවින් අගල්  කැපීමට නුසුදුසු භූමියේ අගල්  කැපීම නවතා පවතින අලි වැට ශක්තිමත් කළ යුතු බව ද ගොවි සංවිධාන හා පරිසරවේදීහු සඳහන් කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන  මෙම භූමියේ සුදුසු ක්‍රමවේදයකට අනුව විධිමත්ව අලි වැටක් සකසා සිදුවන පරිසර විනාශය නතර කරන ලෙස ප්‍රදේශවාසීහු     ඉල්ලා සිටිති.

Exit mobile version