අරාජික රටක තුන්වන දවස…  හදන ආණ්ඩුව ගැන අදත්  පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් නෑ…

මෙවැනි අරාජික තත්ත්වයක්  තවත්  දවස් දෙකක්  පැවතුනහොත්   ආර්ථිකව  බරපතල විනාශයක් රටට සිදුවන බව මහබැංකු අධිපතිවරයා විසින් අනතුරු අඟවමින් සිටිය දී පැවැත්වූ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම රටේ අපේක්ෂා  සුන්  කරමින් කිසිම එකඟතාවයකට නොපැමිණ යළිත් වරක් අවසන් වී තිබේ.

රටේ පවතින තත්ත්වය හේතුවෙන්  කල් දමා තිබූ මෙම රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ කැඳවීමට කතානායකවරයා විසින් තීන්දු කළේ පවතින දේශපාලන අර්බුදයට කඩිනම් පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂා සහිතවය.

එහෙත් මේ අවස්ථාවේ දී සමගි ජන බලවේගය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ඉවත් වන්නේනම් පමණක් අගමැති ධුරය සහිතව අන්තර්වාර පාලන ආණ්ඩුව භාරගන්නා බවය.

ජාතික ජන බලවේගය තමන් ඉදිරිපත් කළ යෝජනාවලිය මත පදනම්ව ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් පමණක් ඉන් පසුව නිර්මාණය වන   අන්තර්වාර පාලනයක් සඳහා  එකඟවන බව පවසා තිබේ.


ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරමින් පවසන්නේ තමන්ට ධුරයෙන් කිසිසේත් ඉල්ලා අස් නොවන බවත්  ඉන් මෙපිට සිට කැමති යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසත්ය.

අගමැතිවරයා ඉල්ලා අස් වී, කැබිනට් මණ්ඩලය විසිරී ගොස්  විධායක ජනාධිපතිවරයෙක් පමණක් සහිත තුන්වන දවසත් ගෙවී යමින් තිබේ.

රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. ප්‍රචණ්ඩ ක්‍රියා තැන තැන මතුවෙමින් ඇත. වෙඩි තැබීමේ නියෝග සහිතව හමුදාව වීදි බැස තිබේ. හමුදා පාලනයක් ඇති නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අවසන් අවකාශය තුළ දේශපාලන නායකත්වය  ජනතා අපේක්ෂා සුන් කරන බල පොරයක නිරත වෙමින් ඇත.

අද සමගි ජනබලවේගය නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ. ජනාධිපතිවරයා අද රාත්‍රි 9.00ට ජාතිය ඇමතීමට නියමිතය.

මහබැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ රට ගැන කී කතාව….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version