අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

ගැටලු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින්ට පවතින හැකියාව පිළිබදව ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඊයේ (19) නිර්දේශයක් ඉදිරිපත් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඊයේ සැලකිල්ලට ගත් අතර ,එහිදී කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙම නිර්දේශය දැනුම් දුන්නේය.

ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවායමින් රජයේ අරමුදලින් රු.මිලියන 1524 ක් වැයකර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කාරක සභාවේදී සාකච්ජා විය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් සුමේධ පෙරේරා මහතා එහිදී කීවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කිරීම පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව සිදුව ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ වෙනුවෙන් නව නීති රීති සහ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවයද කාරක සභාවේ අවධානයට යොමු විය.

Exit mobile version