අදත් විදුලිය කැපුණේ නම්  වහාම කොමිසමට දන්වන්න !

උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර සිසුන්ට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා නොදීම මානව හිමිකම් කඩවීමක් ලෙස ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ අද (27)  දිනයේද විදුලිය කැපීම් සිදුවන බව වාර්තා වේ. මෙලෙස යම් ප්‍රදේශයක විදුලිය විසන්ධි වීමක් සිදුවන්නේ නම් මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවියේ පනිවිඩ යැවීමේ සේවාව  ඔස්සේ තම ප්‍රදේශයට විදුලිය විසන්ධි වූ දිනය සහ වේලාව නිවැරදිව සටහන් කොට කෙටි පැමිණිල්ලක් යොමු කරන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉල්ලීමක් කළේය.

මේ වනවිටත් විදුලිය විසන්ධි වන බවට ප්‍රදේශ ගණනාවකින් ලංකාසරට ද වාර්තා වූ අතර මේ පිළිබඳව සභාපතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු මෙම ඉල්ලීම  කළේය. ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ ලබන සඳුදා වනවිට විදුලි බල මණ්ඩලයට එරෙහිව නෛතික පියවර ගන්නා බවයි.

ලංකා විදුලිය බල මණ්ඩලය අද දිනයේද තමන්ට විදුලිය කප්පාදුව සිදු කිරීමට අවශ්‍ය බැවින් ඊට අවසර ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම වෙත ලිපියක් යොමු කළ අතර එය සපුරා ප්‍රතික්ෂේප කළ එම කොමිසම ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුවට අවසර නොදෙන බව ප්‍රකාශ කළේය. එම කාලය තුළ විදුලිය කප්පාදු කිරීම මානව හිමිකම් කඩවීමක් බවටද එම ලිපියෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභා සභාපතිවරයා පවසා තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් ලිපිනය වන්නේ https://www.pucsl.gov.lk

Exit mobile version