අතුරුදහන් කන්දකාඩු රැඳවියන් 126ක් සොයා මෙහෙයුම්…

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ (29) වෙනිදා පැනගොස් සැඟව සිටින රැඳවියන්ගෙන් හතළිස් හත් දෙනකු මේ වනවිට සෝමාවතීය රක්ෂිතය තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.

ඊයේ  කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයෑමත් සමග කලහකාරී ලෙස හැසිරුණු රැඳෙවියන් හයසීයකට ආසන්න පිරිසක් අවස්ථා දෙකකදී එම කඳවුරෙන් පලාගොස් ඇති අතර එදින යුද හමුදාව සහ පොලිසිය එක්ව  ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් දෙසිය හතළිස් අටදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සැඟව සිටි තවත් හතළිස් හත්දෙනෙකු 30 වෙනිදා දහවල් පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලොන්නරුව පොලිසිය පවසයි.

පුලස්තිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම රැඳවියන් 30 වෙනි දින පොලොන්නරුව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ  ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර හටගත් නොසන්සුන්කාරි තත්ත්වයත් සමඟ එම කඳවුරේ රැඳවියන් 647 දෙනකු පමණ පලාගොස් සිටියේය.  ඉන් තුන්සියතිස්හත් දෙනකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.


පලාගොස් ඇති රැඳවියන් අතරින් 126ක්  පමණ මේ වනවිට අතුරුදහන් වී ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පළා ගොස් සිටින රැඳවියන් සෝමාවතිය රක්ෂිතය තුළ සැඟව ඇති බවට සැකකරන අතර ඔවුන් සොයා යුද හමුදාව සහ, හිඟුරක්ගොඩ, පුලස්තිපුර, පොලොන්නරුව පොලිසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවද හේවාවිතාරණ  වැඩිදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තඹාල, සුංගාවිල, සෝමාවතිය, ගල්කැටිදමන යන ප්‍රදේශවල රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසුවේය.

Exit mobile version