අඩියක් පස්සට ගිය සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා පොල්ලක්

සහල් මිල සම්බන්ධයෙන් මෝල් හිමියන් වෙත පසුගියදා නිකුත් කළ උපරිම සිල්ලර මිල සම්බන්ධ ගැසට් නියෝග කඩනොවන ලෙස ඔවුන් තම මාෆියාව කරගෙන යාමේ නව ක්‍රමයක් ඊයේ සිට ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

ලංකාසර මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම පෙළේ සහල් මෝල් කිහිපයක් සහ සහල් තොග සහ සිල්ලර මිලට අලෙවි කරන ව්‍යාපාරිකයන් ඇසුරින් කරන ලද විමසීමේදී පෙනී ගියේ ඔවුන් ගැසට් නිවේදනයේ නියමිත මිලට සහල් නිකුත් කරන්නේ අදාළ ව්‍යාපාරිකයන් මිල දී ගන්නා සහල් තොගයෙන් හරි අඩක් කීරි සම්බා සහල් මිලට ගත යුතු බවට වන කොන්දේසියත් සමගිනි.

පසුගිය නොවැම්බර් 04 වැනිදා රජය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සහල් මෝල් හිමියන් සිල්ලර වෙළෙඳුන් සඳහා අලෙවි කළ යුතු සහල් උපරිම මිල ප්‍රකාශයට පත් කළේය.


ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 94ක්ද, නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 92ක් සහ කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 89ක් ලෙසිනි.

මෙම සහල් මෝල්වලට සහල් ඇණවුමක් ලබා දීමේදී මීට දින කිහියකට පෙර සහල් මෝල් හිමියෝ නියමිත මිලට අමතරව ප්‍රවාහන ගාස්තුවක් ඉල්ලා සිටියහ.

ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් මෝලෙන් රුපියල් 94කට නිකුත් කරද්දී එයට අදාළ මෝලේ සිට සිල්ලර සහ තොග ව්‍යාපාරිකයා සිටින ප්‍රදේශය අනුව විවිධ මිල ගණන් ඊට එකතු කිරීමට කටයුතු කළහ.

මේ තත්ත්වය මත සිල්ලර සහල් වෙළෙඳන්ට මෙම ප්‍රවාහන ගාස්තුවද එකතු කර තමන්ටද සුළු ලාබයක් රඳවාගෙන සහල් අලවි කරන්නට සිදුවූයේ උපරිම සිල්ලර මිලට වැඩි මිලකිනි.

කෙසේ වුවද රජය පාරිභෝගික අධිකාරිය හරහා මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර මේ වනවිට සහල් මෝල් හිමියන් පවසන්නේ සම්බා හෝ නාඩු ලබා ගැනීමේදී ඇණවුම් කරන සහල් තොගවලින් අඩකට සමාන කීරි සම්බා ලබා ගත යුතු බවය.

කීරි සම්බා සඳහා පාලන මිලක ප්‍රකාශයට පත්කොට නැති අතර ඒ හරහා සහල් මෝල හිමියන්ට අතිරේක මුදලක් රඳවා ගැනීමේ හැකියාව ඉන් සැලසේ.

කෙසේ වුවද මෙහිදී සිල්ලර හෝ තොග ව්‍යාපාරිකයාට අනවශ්‍ය ලෙස වැඩි අලෙවියක් නොමැති කීරි සම්බා අනිවාර්යයෙන් මිලදී ගැනීමට සිදුවීම නිසා තමන්ට සාපේක්ෂව විශාල මුදල් සහල් ව්‍යාපාරය වෙනුවෙන් යට කරන්නට සිදුව ඇත.

නිදසුනක් ලෙස රුපියල් 93 ගණනේ සහල් කිලෝ ග්‍රෑම් 1000ක් මිලට ගන්නා ව්‍යාපාරිකයකුට ඒ සඳහා වැය කළ යුතු රුපියල් 94000ට අමතරව අනිවාර්යයෙන් කීරි සම්බා සඳහා රුපියල් 140 (දළ වශයෙන්) කිලෝ ග්‍රෑම් 500ක් සඳහා රුපියල් 70,000ක් වැය කිරීමට සිදුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය සුළු පරිමාණ සිල්ලර ව්‍යාපාරිකයාට දරා ගත නොහැකි තරමේ බරක් බව ලංකාසර අද කළ විමසීමකදී අනාවරණය විය.

Exit mobile version