TNA කඩන්න හදන බංකොලොත් දෙමළ දේශපාලන පක්ෂ ගැන සම්පන්දන් කියයි!

දිනසේන රතුගමගේ –

දෙමළ ජනතාවගේ එකම අපේක්ෂාව බවට පත්ව තිබෙන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය කොටස් වලට බෙදීමට මේ රටේ විශාල පිරිසකට උවමනාවක් ඇතත් එය කෙසේවත් කළ නොහැකි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 7 දා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව ඔහු කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීමේදී එම පක්ෂයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී  පිරිසක් අත්සන් කිරීමට හේතුව පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේදීය.

තමන් ඒ ලිපියට අත්සන් තැබූ පිරිස හා නොතැබූ පිරිස ගැන නිවැරදිව තොරතුරු නොදන්නා නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.


දෙමළ ජාතික සන්ධානයට හවුල්කාර පක්ෂ තුනක් සිටින අතර ඒ ඒ දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ පක්ෂවල ප්‍රතිපත්ති වලට අනුව තීන්දු තීරණ ගත හැකි බවත් ප්‍රකාශයන් නිකුත් කළ හැකි බවත් කියා සිටි සම්පන්ධන් මන්ත්‍රීවරයා එය එසේ වූවත් එම තීන්දු තීරණ හා ප්‍රකාශයන් දෙමළ ජාතික සන්ධානයේ මතය හෝ අදහස නොවන බවද පැවසීය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපිය දඩමීමා කරගෙන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වී ඇති බව පෙන්වීමට බංකොලොත් දෙමළ දේශපාලන පක්ෂ කටයුතු කරණ බවත් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් හා අයිතිවාසිකම් වෙනුවෙන්  අනෙක් සියලුම දෙමළ දේශපාලන පක්ෂ අවස්ථානූකූලව එකමුතු වන බව එම බංකොලොත් දෙමළ දේශපාලන පක්ෂ තේරුම් ගත යුතු බවද  සම්පන්ධන් මන්ත්‍රීවරයා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානයේ අරමුණ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටීම බව කී මන්ත්‍රීවරයා කුමන අභියෝග පැමිණියද පක්ෂයක් වශයෙන් එම වගකීම ඉටු කරණ බවද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේය.

Exit mobile version