ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

විපක්ෂයේ කට්ටියකුත් දේශපාලන බලය ගන්න ගෝත්‍රික මතවාදය ප්‍රවර්ධනය කරනවා... මංගල කියයි

මාතර  –  සම්පත්

සර් නොව සර් නියෝජනය කරනු ලබන දේශපාලන මතවාදය මේ වනවිට ෆේල් වී   අවසන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර  පැවසීය. ඔහු  මේ බව පැවසූසේ මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත ගේ නිවසේ පැවති පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට එක්වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේ කීවේය

ජනාධිපතිවරණය පවත්වා අවුරුද්දකුත් මාසයක් වෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අවුරුදු 32 ක් මා නියෝජනය කරපු මාතර ජනතාව මුළු රටේම බහුතර ඡන්ද දායකයන් සමග එක්වී මා නියෝජනය කරනු ලබන කඳවුරත්, එම කඳවුරේ අපේක්ෂකයාත් ඒ හරහා මාත් අන්ත පරාජයකට පත්කරනු ලැබුවා. මාතර ආසනය පමණක් ඡන්ද 26000 කින් පැරදුනා. 1989 පසුව එවැනි පරාජයක් අප ලබා නැහැ.


එදා උදේ අප ගණන් බලා බලා හිටියේ නැහැ. එදා ඇඳේ අනිත් පැත්තට රෝල් වෙලා මා බුදිය ගත්තා. එදා අපේ කඳවුරට ලැබුණේ ඡන්ද 12000 ක් විතරයි. වත්මන්  පාර්ලිමේන්තුවට බලයට පත්වී මාස 4 ක් ගිහින් ඇතැමුන් සර් පේල් කියනවා. පොහොට්ටුවට ඡන්දය දුන් අයත් කියනවා. ආණ්ඩුවේ ඉන්න අපේ පරණ මැති ඇමතිවරුන් සර් ෆේල් කියනවා. ඒ අය මතුර මතුර යනවා.

දැන් විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් කියා හිතාගෙන සර් ගේ සපත්තු දෙකට බැහැලා සර්ට වඩා හොඳ සිංහල ආණ්ඩුවක් කර ගෙන යන්න තමන්ට පුළුවන් කියා අලුත් සූට් මහනවා. දත් මදිනවා. එහෙත් ෆේල්  සර් නොවෙයි.  සර් නියෝජනය කරනු ලබන දේශපාලන මතවාදයයි…

යලිත් වතාවක් එය ෆේල් වෙලා තියෙන්නේ. එදා ටත් වඩා භයානක තත්ත්වයකට රට ඇදගෙන යනවා. මේ වැරැද්ද ගෝඨාභයට දාල ඒ විදියට හිතන තවත් නායකයෙක් ගෙනත් මේක ගොඩගන්නට බැහැ.

මාස ගණනාවකට පසුව මගේ දේශපාලනයේ ලඟින් හිටිය පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට කොවිඩ් තත්ත්වය හමුවේ වුවද අවස්ථාව ලැබීම විශාල දෙයක් විදියට මා සලකණු ලබනවා. මගේ මේ කතාව ආරම්භ කරන්නේ මාතර සමාජයට දොස් කියලයි. එක් හොර ඡන්දයක්වත් දාල නොවෙයි. හැබැයි බොරු කියලා හෝ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තා. තනි සිංහල ආණ්ඩුවක් ලබා ගත්තා. ඒ වෙනුවෙන් ජනතාවට පෙළගැසුනා. ඒ කාලයේ පාර්ලිමේන්තුවේ හොරු 225 ගෙදර යවමු කියා සමාජ මාධ්‍ය කිව්වා.

ඒවා දැන් වැඩිය දකින්නේ නැහැ. දැන් හොරු නොවෙයි වෙන්න ඇති. දුෂණය නැති කළ යුතුයි. ඒ සදහා තීන්දු ගන්න නායකයෙක් ඕන කිව්වා. රට ට එකම නීතියක් ,නීති ආධිපත්‍ය රජ කරන නායකයෙක් ඕන කිව්වා. රජ කුමරාටත් දුප්පතාටත් එකම නීතිය ක්‍රියාත්මක කළ නායකයෙක් ඕන කියා එදා ඡන්දය භාවිතා කර නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. එහෙත් මේවා කරන්න 2/3 බලයක් අවශ්‍ය බව කිව්වා. ස්වාධීන කොමිෂන් සභා එක්ක, ස්වාධින පොලිසියක් තිබෙනකම්, ස්වාධීන අධිකරණයක්, ස්වාධින රාජ්‍ය සේවයක් තිබෙනකම් වැඩ කරන්න බැහැ කිව්වා. සිංගප්පුරුවක් කරන්න පොලිමේ ඉඳගෙන ඡන්දය දුන්නා.

ආසන ක්‍රමය තිබුණානම් 2/3 ට ත් වඩා ජයග්‍රහණයක් ලබා ගන්නවා. ආසන හැටියට තිබුණානම් ජේ.ආර් ජයවර්ධනටත් වඩා ශක්තිමත් ආණ්ඩුවක් ලබා ගන්නවා. 20 වන සංශෝධනය ගෙනත් ඒකාධිපති බලතල විධායක ජනාධිපතිවරයා ලබා ගත්තා. ශක්තිමත්, බලවත් ජනාධිපතිවරයේ ලැබිලා. දැන් ඡන්දය අවසන්වී මාස 4 ක දී අවුල් ජාලයක් වෙලා. කොරෝනා පාලනය කර ගන්න බැරි වෙලා. ආර්ථිකය අවුල් කරගෙන. ආර්ථික අර්බුදයකට තල්ලු වෙලා. මේවා එකින් එක මා කියන්නේ නැහැ. මිනිමරපු අයටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් තත්ත්යටත් පත් වෙලා. රටක් ලෙස ක්‍රමානුකුලව හුදකලා වෙලා තියෙන්නේ

අප නිදහස ලබා ගන්නා විට ආසියාවේ අප ආසියාවේ ජපානය විතරයි ඉහලින් හිටියේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබූ ආදර්ශමත්  රට අපියි. හොඳම රාජ්‍ය හොඳම රාජ්‍ය සේවය තිබුණෙ අපේ. හොඳම පොලිසියක් තිබුණේ. හොඳම විනිසුරුවන් ඉන්නවා කියලා ලෝකේම කිව්වා. අපේ රටේ ආර්ථිකයක් 1955 ආර්ථික සංඛ්‍යා ලේඛණවල ඉඳල 2017 වෙනකම් ප්‍රාථමික ගිණුමේ අතිරික්කයක් තිබුණා.

අප පුංචි රටක් වුවත් ඉහළ පිළිගැනිමක් තිබුණා. චීනයේ පමණක් නොවෙයි ඇමරිකාවේත් අප මිතුරෙක් බවට පත්වුණා. මේ වගේ යුගයක් තිබුණා. අපේ තරුණයන්ට අනාගතය ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන්කම තිබුණා.

නමුත් මේ රට ආපස්සට යන්නට පටන්ගත්තේ 1956 දි යි. මෙහිදි මා  බණ්ඩාරනායක අගමැතිතුමාට දොස් කියනවා නොවෙයි. දොස් කියන්නත් වෙනවා. මා උපන් දවසේ ඒ ආණ්ඩුවේ අධිකරණ රාජ්‍ය විදියට දිවුරුම් දුන්නේ. නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය, සුනේත්‍රා, අනුර බණ්ඩාරනායක මගේ ඉතාම හිතවත්. එය වෙනම දෙයක්. මා කියන්නේ   මතවාදීව අපේ රට ආපස්සට යන්නට පටන් ගත්තේ 1956 දි යි. ඒ මතවාදය එකිනෙක ආණ්ඩු විසින් පවත්වාගෙන ගිහින් රට  විනාශ මුඛයට ගෙනිහින් තිබෙනවා.

බණ්ඩාරනායක මහතා ඊනියා ගෝත්‍රික මතවාදයක් රටට හඳුන්වා දුන්නා. මේ රට තුළ ජාතිවාදිය හඳුන්වා දුන්නා. ,කුලවාදිය හිස ඔසවනු ලැබුවා. සමාජවාදය මේ රටට හොඳට වඩා නරකක් සිදු  කළා. මේ රටට හදුන්වාදුන්  බලවේගයන්හි ගොදුරටක් බවට බණ්ඩාරනායක මැතිතුමන් පත්වුණා.

3/2 න් බලයට පත්වූ ආණ්ඩු රටට සිදු කළ හානිය විශාලයි. 1970 ආණ්ඩුවෙන්   මේ රට අධිකරණය හා රාජ්‍ය සේවය දේශපාලනයේ හෙන්චයියන් බවට පත්කරනු ලැබුවේ. ජේ.ආර් 5/6 බලයට පත් වුණා. මේ රට බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ එතුමාගේ කාලය තුළදීයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය තුළ රට ආපස්සට ගියා. 2010 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් අරගෙන 2/3 ආණ්ඩුවක් හැදුවා. දුෂණය හා නීතිය ගජමිතුරු ආර්ථිකයකට මුල පිරුවා. අප නිදහස ලබා වසර 73 වෙනවා.  මේ මාර්ගය වෙනස් නොකොලොත් අපේ රට ඉතාම භයානක තත්ත්වයකට  පත් වේවි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප මේ තත්ත්වය දැන්වත් තේරුම් ගත යුතුයි. ගෝඨාභය ජනාධිපතිතුමන්ට බැනලා වැඩක් නැහැ. මේ ක්‍රමවේදයේ වෙනසක් අප කළ යුතුයි. මතවාදය අප වෙනස් කළ යුතුයි. වෙනත් කෙනෙක් බලයට ගෙනාවත් ඔය මතවාදමයි ඉදිරියට යන්නේ. ඇත්ත නැත්ත   අවබෝධ කරගෙන මිත්‍යාව ,ඉර්සියාව, කුහකත්වය, වෛරය, ගෝත්‍රිකත්වය එර‍ෙහිව ප්‍රජාතන්ත්‍රිවාදය, නිදහස, මනුෂ්‍යත්වය, විද්‍යාව පදනම්කර ගත් මේ රටට ගැලපෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් සොයා ගත යුතුයි..

 

Exit mobile version