හොරා කන්න පාර කපලා පොඩි ආයතන ඇතුළෙ මීඩියා ෂෝ පෙන්වන්නෙ කාට ද?

හිටපු කෝප් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අසයි...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිළිබඳව දැනට නීතිය බවට පත් කර ඇති බලතල  විනාශ කර ඒ බලය ජනතාවට අහිමි කිරීමට යෝජනා කිරීමෙන් පසු, කෝප් කමිටුව වැනි ආයතනයක් මාධ්‍යයට වසා දමා හොරකමට පාර කැපීමෙන්  පසු, තමන්ගේ වචන චක්‍රලේඛ සේ සලකා රාජ්‍ය සේවකයන්ට කටයුතු කරන සේ නියෝග දෙන ජනාධිපතිවරයෙක්  මාධ්‍ය කණ්ඩායම් සහිතව පොඩි පොඩි ආයතනවලට රිංගා මීඩියා ෂෝ පෙන්වීමෙන් ප්‍රයෝජනයක් නැති බව හිටපු කෝප් කමිටු සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (27) විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

20වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය ආයතන 117ක කෝටි හැත්තෑ හතර දහස් තුන්සීයක වත්කම් හා කෝටි තිස්  හතර දහස් හාරසිය හැත්තෑ එකක ආදායම් විගණයෙන් ඉවත් කර, එම මුල්‍ය පරිපාලනය සම්බන්ධ ජනතාවගේ ඇති වගකීම ඉවත්කර විගණකාධිපති රූකඩයක් කරන්නට ආණ්ඩුව යෝජනා කර ඇතැයි  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෝප් කමිටුවට ආධුනික මන්ත්‍රීවරයෙක් පත් කිරීම හා එහි කටයුතු සජීවීව වාර්තා කිරීම මාධ්‍යයට තහනම් කිරීම සිදු නොවිය යුතු දෙයක් සේ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.


“ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විගණනයෙක් ඉවත් කරන ආයතන 117 ගැන ශ්‍රි ලංකා විගණන සේවා සංගමය කියනවා.  ඔවුන්ට අනුව මේ ආයතනවල වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 74,300ක්.  ආදායම් ප්‍රමාණය රුපියල් කෝටි 32,471ක්. මේ සියලු රාජ්‍ය මුදල් විගණනයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නෙ ඒ මුදල් ගඟේ මුදේ දැම්මා වගේ . මේ මුදල් පරිපාලනය සම්බන්ධව ජනතා වගකීමක් ඉන් පසුව නෑ. පාර්ලිමේන්තුවට වගකීමක් නෑ. සිදුවන දෙයක විනිවිද භාවයක් නෑ. “

“ මේ ඉවත්වන ආයතන  117 අතර කෝප් කමිටුව හරහා පරීක්ෂණ පවත්වපු මිහින් ලංකා ආයතනය, දැවැන්ත එයාර් බස් ගනුදෙණුවක් සිදුවුනු ශ්‍රි ලංකන් ආයතනය, ශ්‍රි ලංකා ක්‍රිකට් ඒඩ් ආයතනය, රක්නා ලංකා ආයතනය, සීනොර් ආයතනය, ලංකා හොස්පිට්ල් ආයතනය වැනි   ඇති ආයතනත් තිබෙනවා. ඒ පරීක්ෂණත් එතනින් ඉවරයි.“Sunil-Hdunneththi

“ඒ වගේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසම ඉවත් කරන්න යෝජනා වෙනවා. විගණකාධිපතිවයා මෙතෙක් වගකීවේ පාර්ලිමේන්තුවට. ඔහු රාජ්‍ය සේවකයෙක් බවට පත්කරලා ප්‍රශ්න කළ නොහැකි රූකඩයක් කරනවා. ඔබ මොහොතක් කල්පනා කළ යත්තේ විගණන කොමිසමක් තියනකොට, ස්වාධීන විගණකාධිපතිවරයෙක් ඉන්නකොට රටේ සිදුවූ දූෂණ මේ තරම් ප්‍රමාණයක් තියනවා නම් එසේ නොවන තත්වයක මේ රටට අත් විය හැකි ඉරණම කුමක් ද යන්නයි.  උදාහරණයක් කියන්නම්. හම්බන්තොට වරායට එම කාර්යාලයේ ගිණුමක් නෑ, මුදල් අමාත්‍යංශයෙත් ගිණුමක් නෑ….“

තමන්ගේ වාචික ප්‍රකාශ චක්‍රලේඛණ සේ සලකා කටයුතු කරන්න කියලා රාජ්‍ය සේවයකන්ට කියන ජනාධිපතිවරයෙක් බවට ඔහු පත් වෙලා. මොනවද මේ වෙන්නේ. ජනාධිපතිවරයාට මිනිස්සු ආදරේ තමයි. ඔහු සහිත ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නා තමයි. ඒත් මිනිස්සු බලය දුන්නේ මේ විදිහෙ ජනතා ද්‍රෝහී විනාශ කරන්න නෙමෙයි.“

“මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි. දැනට නීතිය බවට පත් කරලා තියන මෙවැනි බලතල උඩ ලැගලා, ඒ බලය ජනතාවට අහිමි කරලා, මීඩියා ටීම් අරන් ජනාධිපතිවරයා කොහෙ රිංගුවත් වැඩක් නෑ“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවීමට නියමිත විනාශය සිදු වූ පසු කතාකර ප්‍රයෝජනයක් නොමැති බැවින් සිදුවන්නට යන ව්‍යසනය හඳුනාගෙන මේ පාප කර්මයට හවුල් නොවන ලෙස පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා මහා සංඝරත්නය ඇතුළු ජනතාවගෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටින බව හිටපු මන්ත්‍රී වරයා තව දුරටත් කීය.

Exit mobile version