ශ්‍රි ලංකාවේ අර්බුදය ඉන්දියාවටත්  පිටාර ගලයිද?

ඉන්දීය විදේශ ඇමති ජයශංකර්ගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

අනුප්‍රාප්තික ජනාධිපති වීමේ තරගයෙන් ඉවත් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියානු දේශපාලනයට අමුතු ආමන්ත්‍රණයක් කළේය. සිය ටිව්ටර් සමාජ ජාල ගිණුම  හරහා ඔහු ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සහ එරට සමස්ත දේශපාලන ප්‍රජාවගෙන් සහ ඉන්දීය ජනතාවගෙන් කළ ඉල්ලීම සැකෙවින් මෙසේය.

“ කවුරු ජනාධිපති වුණත් මම ඉන්දියානු අගමැති ශ්‍රි නරේන්ද්‍ර මොදි ගෙන් සහ සියලුම ඉන්දියානු දේශපාලන පක්ෂ සහ නායකයන්ගෙනුත් සමස්ත ඉන්දියානු ජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ මේ දුෂ්කර මොහොතේ තම මාතෘ භූමිය වන ශ්‍රි ලංකා මාතාව මේ වනවිට පත්ව සිටින විපතින් ගොඩ ඒම සඳහා කරන උදව් උපකාර නොනවත්වන ලෙසය. එය තුළ එක්තරා දේශපාලනික පනිවිඩයක් ගැබ්ව තිබුණද එයින් විපක්ෂ නායකවරයා උත්සාහ ගෙන ඇත්තේ ඉන්දියානු උදව් උපකාරවල  සාතිශය වැදගත්කම ඉස්මතු කිරීම සහ ඉන්දියානු  දේශපාලනයේ අවධානය ශ්‍රි ලංකාව වෙත යොමු  කිරීම  බව පැහැදිළිය.

මේ තත්ත්වයට පසුබිම වන්නේ පසුගිය කාලය තුළ ඉන්දියාව විසින් දෙන ලද මූල්‍යමය ණය  සහනයයි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් පමණ වටිනා ණය ආධාර ලබා දී ඇත. ඉන්දියාව විසින් ලබා දෙන ලද ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරු ණය මුදලද ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමටද කටයුතු කර ඇති බව පසුගිය අඟහරුවාදා දිල්ලියේදී පැවැති ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වූ සර්ව පාක්ෂික රැස්වීමේදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්  ජයශංකර් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.


ඉන්දියාවේ රජය පමණක් නොව විපක්ෂයේ පක්ෂද සහාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා  පැවැති සර්ව පාක්ෂික රැස්වීම ලෝකයේම දේශපාලනය පිළිබඳව උනන්දු වන්නන්ගේ අවධානයට  ලක්වූ කරුණක් විය. ඊට හේතු වන්නේ  කලාපයේ බලවතා මෙන්ම ශ්‍රි ලංකාවේ අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සිය රජයට පවතින හැකියාව ඉක්මවමින් රටේ සමස්ත දේශපාලන නායකත්වයම නියෝජනය වන පොදු තැනකට පැමිණීමට ඉන්දීය අගමැතිවරයා  නරේන්ද්‍ර මෝදි විසින් ගනු ලබන උත්සාහ නිසාය.

මෙම සර්ව පාක්ෂික රැස්වීම කෙතරම් වැදගත් බවක් ඔවුන් ලබා දී තිබුණේද කිවහොත් එයට ඉන්දියාවේ ප්‍රබල දේශපාලන  පක්ෂ නියෝජනය කරන දේශපාලකයන් 28 දෙනකු සහභාගී වී තිබේ. මේ වනවිට ඉන්දීය රජයෙන් ඩොලර්  බිලියන 3.8ක ණය ආධාර ලබා දී ඇති බව ඉන්දියාව වෙතින් ප්‍රකාශ වෙයි. ශ්‍රි ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේග මන්ත්‍රි ආචාර් හර්ෂ ද සිල්වා පවසන්නේ මෙම ඉන්දියානු මැදිහත් වීමේ  වටිනාකම මේ වනවිට ඩොලර් බිලියන 5කට කිට්ටු බවය.

එසේම තවත් වාර්තා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නා බවට චීනය අභිබවා ඉන්දියාව ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවය.ඒ අනුව පසුගිය කාලයේදී මෙරට ඇතිව තිබෙන විදේශ විනිමය අර්බුදය සමථයකට පත් කරගැනීමට ඉන්දියාව ලබා දුන් කඩිනම් ණය පහසුකමත් සමඟ චීනය අභිබවා යැමට ඉන්දියාව සමත්ව තිබේ.දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් 30 වැනිදා දක්වා වූ මුල් මාස හතර කාලයේදී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 376.9ක් ලබාදී ඇති අතර ඊට සාපෙක්ෂව චීනය විසින් දෙනු ලැබ ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 67.9ක් පමණකි. මෙම දත්තවලට ඉන්දියාව විසින් ලබා දෙන ලද  පූර්ණ මුල්‍ය සහන පැකේජය ඇතුළත් නොවන අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් වේ.

ශ්‍රී ලංකා දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී ඉන්දියාව පළමුවෙන්ම සහයට පැමිණි අතර එය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ සිදුවිය.

මෙහිදී ඉන්දිය මූල්‍ය සහන පැකේජය ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් අතර එහිදී දැඩි ඉන්ධන හිඟයක්ද අත්‍යවශ්‍ය සේවා පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට රට පත්විය.

එවැනි පසුබිමක් තුළ ඉන්දියාව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් උනන්දු වීම පසුපස තවත් භූ දේශපාලනික සාධක තිබේ.ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මේ තරම්ම ඉන්දියාව උනන්දු වන්නේ මෙම තත්ත්වය නිසාය. ඒ පිළිබඳව ඉන්දියාව තුළ පවතින රාජ්‍ය තාන්ත්‍රික සූදානම සහ අවධානය පෙන්වන එක් පිලිඹිමුවක් වූයේ මෙම පක්ෂ  නායක රැස්වීමය. මෙම රැස්වීම ට එරට ප්‍රධාන පෙලේ ඇමතිවරුන් අට දෙනකු සහභාගී වීමට නියමිතව තිබුණි. එයින් සහභාගී නොවූයේ ඉන්දිය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය පමණි. ඇය ශ්‍රි ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අතැඹුලක් සේ අවබෝධයක් ඇත්තියකි. ඇය අසනීපයෙන් සිටි බැවින් මෙම හමුවට නොපැමිණියද ඇය නියෝජනය කරන මුදල් අමාත්‍යංශය හ්‍රි ලංකාවේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉන්දියාව විසින් මේ වනවිට ලබා දී ඇති මුල්‍යමය ආධාර පිළිබඳව ඉදිරිපත් කිරීම් දෙකක් සිදු කළ අතර ඒ පිළිබඳව එරට විපක්ෂ දේශපාලන නියෝජිතයන් විසින් අසන ලද දීර්ඝ ප්‍රශ්න විචාලීමටද පිළිතුරු දෙන්නට සිදුවිය.

ඔහු රැස්වීමෙන් පසුව පිටතට පැමිණ මේ රැස්වීමේ පවතින ඉන්දියානු බලපෑම පිළිබඳව සංක්ෂිප්තව මාධ්‍ය හමුවේ දිග හැර ඇත. ඔහු එහිදී පවසා තිබුණේ ඉන්දියානු අග්‍රමාත්‍යවරයාගේ අසල්වැසියා ට පළමු ප්‍රතිපත්තිය යටතේ මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇති මට්ටමකට ආර්ථිකය බරපතල කුණාටුවකට හසුව තිබෙන බවය. එවැනි රටක්  සමබන්ධයෙන් අසල් වැසි රාජ්‍යය ලෙස මෙනම් කලාපීය බලවතා ලෙස ගන්නා ස්ථාවරයත් මේ අර්බුදය හමුවේ ගත යුතු පියවර පිළිබඳවත් සාකච්ඡා විය.. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය ඉන්දියාවටද පිටාර ගැලීමේ තරම් අවදානමක් ඇති බරපතල, දැඩි මෙන්ම ඉතා තියුණු තත්ත්වයක් බවය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ හ්‍රි ලංකාව නිසි යහ පාලනයක් නොමැති වීමත් මූල්‍ය සම්බන්ධයෙන් දැඩි විනයක් අනුගමනය නොකිරීමත් හේතුවෙන් රටක් ලෙස දැඩි ආගාධයකට ගමන් කර ඇති බවය. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි මෙන්ම ශ්‍රි ලංකාවේ ආර්ථික කඩා වැටීමෙන් අසල්වැසි ඉන්දියාවටද පාඩම් රැසක් උගත හැකි බව ඔහු මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වුවද මෙහිදී දේශපාලන නායකයන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රශ්නවලදී මෙතෙක් ඉන්දියාව විසින් සිදු කර ඇති මූල්‍යමය ආධාර ණය සහන පිළිබඳව  එකින් එක විස්තර කොට ඇති අතර එහිදී ශ්‍රි ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් මේ වනවිට පන්දුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රි ලංකාවත් අතර බව පෙන්වා දී ඇත. ඒ සමඟ ඔහු පවසා ඇත්තේ ඔවුන් අතර සිදුවන සාකච්ඡා පිළිබඳව දැඩි අවධානයකින් යුතුව පසුවන බවය. එ අනුව ඉදිරියේදී කළ යුතු දේ ගැන තීරණය වනු  ඇති බවද ඔහු සඳහන් කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙවැනි සටහනක් තබා ඇත්තේ ශ්‍රි ලංකාව තවදුරටත් ඩොලර් බිලියනයක මුදල් හුවමාරු ගිවිසුමක් පිළිබඳව ඉල්ලීම් කරමින් සිටින අතරතුරය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් ගම්‍ය වන කරුණක් වන්නේ මෙතක් ඩොලර් බිලියන 3.8කට වැඩි ආධාර ලබා දී ඇති ඉන්දියාව ඊළග ආධාරය ලබා දෙන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන වචනය තෙක් කල් මරන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාරය පිළිබඳව තවමත් ඇත්තේ සාකච්ඡා පමණි. එතෙක් අතර මඟ කාලය විදේශ සංචිත හිගතාවෙන් යුතු අතිමහත් දුෂ්කරතා පිරුණු කාලයක් බැවින් ඉන්දියාව හෝ වෙනත් මිත්‍ර රටකින් ආධාරයක් නැතිව සිට ගත නොහැකි තරමට ගෝඨාභය රාජපක්ෂ පාලනය රට පහළට දමා ඇත. . ඒ අභියෝගය නව ජනාධිපතිවරයා සතුය. විපක්ෂ නායකවරයාද ඉන්දියාවට අත් නොහරින ලෙස ඉල්ලුවේ මේ නිසා විය හැකිය.

 

 

Exit mobile version