“ලොකු බලයකින් අධිපතිවාදී ගමන් ගිය පාලකයන්ට ඉතිහාසය දඬුවම් දී තිබෙනවා”

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

ඉම්තියාස් බාකීර් මාකාර් යනු වර්තමාන ශ්‍රි ලාංකේය දේශපාලනටයේ අනයරථ නාමයකි. පක්ෂ විපක්ස කාගෙත් විවේචනයකට ලක් නොවන ඔහු පාර්ලිමේන්තුවේදීත් දක්වන අදහස් බොහෝ දෙනකුගේ ප්‍රසාදය ට ලතක් වන්නෙකි. වර්තමානයේ සමගිජනබලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු බාකීර් මාකාර් මහතා රට තුළ උද්ගතව ඇති සමාජ, ආර්ථික සහ දේශපාලන තත්ත්වය සහ අනාගත ගමන් මඟ පිළිබඳ ව ලංකාසර සමඟ කළ සාකච්ඡාවකි.

ඔබ ගේ අතීත ගමන් මඟ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?

මගේ පාසල් අවදියෙන් පටන් ගත්තොත් මම අධ්‍යාපනය ලැබීම ආරම්භ කළේ කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඉන්පසුව කළුතර ශ්‍රී කුරුස විදුහලින්. ඉන් අනතුරුව ගම්පොල සහිරා විද්‍යාලයේ. ඉන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. 8 වන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලයට යන තෙක් කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසුණා.


විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව වැඩි ලකුණු ලබා ගත් ළමයින් අතර තේරීමක් තිබුණා විශේෂවේදී උපාධියට. ජනසන්නිවේදනය හදාරනවාද ආර්ථික විද්‍යාව හදාරනවාද කියා. ජනසන්නිවේදන විෂය මා තෝරා ගත්තා. පසුව මා නීති විද්‍යාලයටද බැඳුණා. නීතිඥවරයෙකු ලෙස ඉහලින් සමත් වුණා. මේ සියලු කාර්යයන් කරන ගමන් ආනන්ද විද්‍යාලයේ සිටින වකවානුවේ පටන් එක්සත් ජාතික සංගමයට සම්බන්ධ වී වැඩ කටයුතු කළා.

ඔබ මුස්ලිම් සමාජය නියෝජනය කරන කෙනෙක් වුවත් චතුර ලෙස සිංහල භාෂාව ඔබට හැසිරවිය හැකියි. මේ හැකියාව ලැබුණේ කොහොමද?

ඔබේ ඔය ප්‍රශ්නයට මගේ විරෝධය පළ කරනවා. මා මුස්ලිම් සමාජය නියෝජනය කරන අයෙක් නොවේ. මා ශ්‍රී ලාංකීය සමාජය නියෝජනය කරන අයෙක් බව කිව යුතුයි. මම අදහන ආගම ඉස්ලාම් නමුත් මම ශ්‍රී ලාංකිකයෙක්.

මගේ බේරුවල නිවස පිහිටා තිබෙන මාර්ගය හඳුන්වන්නේ අරාබි පාර ලෙසයි මගේ නිවස පිටුපසින් දිවෙන්නෙ බොන්නරුගොඩ කියන ගමන් දකුණුපසින් තිබෙන්නේ බස්තරවත්ත ගම. මේ ගම්මානවල 100%ක්ම සිංහල උදවිය ජීවත් වෙනවා ඒ වගේම මගේ ග්‍රාම සේවා වසමේ දකුණු සීමාවෙහි තිබෙන්නේ හොරගොල්ල කියන ගමයි ගමන් ඒ වගේම ඒ අවට ගොඩැල්ල, හලවකන්ද වැනි සියලු ගම්මාන සිංහල ජනතාව. උදේ සිට සවස් වනතුරු අපි අම්මයි තාත්තයි සමග අරාබි මිශ්‍ර දෙමළ භාෂාවෙන් කතා කළත් අපිට ඇසුරු කරන්න ලැබුණේ සිංහල උදවිය අපි සෙල්ලම් කලේ සිංහල ළමයි සමග සිංහල මුස්ලිම් කියා අපි අතර කිසිම භේදයක් තිබුණේ නෑ මගේ නිවාස අවට පසුබිම මට සිංහල භාෂාව හුරු හුරුකිරීමට බලපෑවා.

එමෙන්ම අටවන 8 වන ශ්‍රේණියේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී එහි නේවාසිකාගාරයේ නවාතැන් ගෙන අධ්‍යාපනය ලැබුවා. මම නේවාසිකාගාරයට ඇතුළු වන විට එහි එක් ජ්‍යෙෂ්ඨ මුස්ලිම් ළමයෙක් හිටියා. එයා ගියාට පසු නේවාසිකාගාරයේ සිටි එකම මුස්ලිම් ළමයා බවටම පත් වුණා. තව එක් දෙමළ ළමයෙක් හිටියා මට මතකයි. අපි හැමෝම කතා බහ කළේ සිංහලෙන්. එහිදී සිංහල, මුස්ලිම්, දෙමළ කියා වෙනසක් මට දැනුණේ නැහැ. එක මවකගේ දරුවන් මෙන් අපි හැමෝම එකට එකමුතුව කාලය ගත කළා.

ඔබගේ දේශපාලන ගමන් මගේ ආරම්භය පිළිබඳව මතකය අවදි කළොත්?

මගේ දේශපාලන ගමන ආරම්භ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් බව කිව යුතුයි. මම අධ්‍යාපනය ලැබූ අනෙක් පාසල්වලට වඩා ආනන්ද විද්‍යාලයේ ලොකු නිදහසක් තිබුණා. දේශපාලන උණුසුමක් තිබුණා. සමසමාජ පක්ෂයට සම්බන්ධ ශිෂ්‍යයින් එහි සිටියා. ඒ වගේම කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමයක් තිබුණා. ජේවීපී එකට සම්බන්ධ ළමයිනුත් හිටියා. සීවලී රත්වත්තේලා ආරම්භ කළ සිංහල තරුණ සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව කටයුතු කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයට පමණක් ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය නමින් අලුත් ශිෂ්‍ය සංවිධානයක් අපි පිහිටුවා ගත්තා. එය ඒ ආකාරයට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව අපට අවබෝධ වුණා. ඒ නිසාම අපි කීපදෙනෙක් එවකට එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා හමුවී සාකච්ඡා කර මෙම ශිෂ්‍ය සංවිධානය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා ලෙස අප ඉල්ලා සිටියා. එදා ඒ ගමනට පාලිත පැල්පොල, සිකුවේන්ද්‍ර සේනානායක, රොහාන් අබේවික්‍රම, අර්මා සේනානායක යන අය එක් වූ අයුරු අද මට සිහිපත් වෙනවා.

අපි ඩඩ්ලි සේනානායක මහතාගෙන් ඉල්ලා සිටියේ අපි පිහිටවූ පිහිට වූ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගන්නා ලෙසයි ඒ අවස්ථාවේ එතුමා අපට ප්‍රකාශ කළේ “දරුවෝ.. ඔයගොල්ලො හොඳට ඉගෙන ගන්න. පාඩම් කරන්න. විශ්වවිද්‍යාලයට යන්න. ඊට පසු අපි ඔයාලට හොද තැනක් සකසා දෙන්නම්. දැන් අධ්‍යාපනය කඩාකප්පල් නොකර හරියට අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න”. මේ වදන් පෙළ අදත් මගේ මතකයට නැගෙනවා. මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයො එදා දේශපාලනයේ සිටියා. අද වගේ අපිව දේශපාලනය ඉටු කරගන්න එපා උත්සාහ කළේ නැහැ. නමුත් අපි එතුමට එදා කියා සිටියේ ඔබතුමා ඔය ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය තබාගෙන සිටියොත් අනාගතයේ ශිෂ්‍ය පරම්පරාව වමට තල්ලු තල්ලුවී මාක්ස්වාදී රැල්ලට හසු වන බවයි.

එබැවින් මෙහිදී ඔබට ලොකු වගකීමක් තිබෙන බව අපි කියා සිටියා. ඉන්පසුව එතුමා මේ ගැන තීරණයක් ගන්න සතියක් කල් ඉල්ලුවා. සතියකට පසු නැවත අපට කැඳවීමක් ලැබුණා. ඒ අනුව අපි ඩඩ්ලි සේනානායක මහතා හමුවුණා. අපි යන විට එහි සූරියප්පෙරුම මහතාත්, ජිනදාස නියතපාල තරුණ කථිකාචාර්යවරයෙකු කරුණාසේන කොඩිතුවක්කු වැනි ඇයත් කැඳවා තිබුණා.

පක්ෂයක් ලෙස අපි ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ නොකරන බව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳව ඔබල දැනුවත් කිරීම මේ උදවිය ඔබලට ලබාදේවි. ඒ අය සමග සම්බන්ධ වන ලෙස අපට පැවසුවා. ඩඩ්ලි සේනානායක මහත්මයා ගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන ශිෂ්‍ය සංවිධානයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය අපි පවත්වාගෙන ගියා. පසුව ජේ ආර් ජයවර්ධන මහත්මයා පක්ෂ නායකත්වය භාර ගත්තට පසුව මෙම ශිෂ්‍ය සංවිධානය පක්ෂයට සම්බන්ධ කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටියා. ඒ යෝජනාව එතුමා පිළිගෙන 1975 පැවති සම්මේලනයට යෝජනාවක් ඉදිරිපත් කළා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයක් කරගත යුතුයි කියා. ඒ අනුව තමයි අපි එකතු වුණේ.

අපි විශ්වවිද්‍යාලයට යන විටත් ශිෂ්‍ය සංවිධානය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කර තිබුණේ නැහැ. පළමු වතාවට අපි 1974 වසරේ තරග කළා කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඒ අනුව අපි හතර වැනි තැනට පත්වුණා. ඉන්පසු පිළිවෙලින් 1975දී තුන් වැනි තැනටත් 1976දී දෙවැනි තැනටත් 1978 දී ලංකාවේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබා ගත්තා. ඒ අනුව අනෙකුත් විශ්ව විද්‍යාලවලටත් අපි මෙලෙස ආරම්භ කළ ශිෂ්‍ය ව්‍යාපාරය පැතිරුණ බව සිහිපත් කළ යුතුයි. මේ ආකාරයට තමා මගේ දේශපාලන ගමන ඇරඹුණේ.

එදා සහ අද දේශපාලනය අතර ඔබට දැනෙන වෙනස කුමක්ද?

ලොකු වෙනසක් තිබෙනවා. එදා දේශපාලන ප්‍රතිපත්ති ගැන අපි තුළ ලොකු විශ්වාසයක් තිබුණා. නමුත් අවාසනාවකට මෙන් අද එහෙම නෑ. අද ඒ ප්‍රතිපත්තිවලට වඩා තමන්ගේ පැවැත්මට බර වුණ දේශපාලනයකට තල්ලු වී තිබෙනවා.

මේ තත්ත්වයෙන් නැවත ගොඩ ඒමට හැකියාවක් තිබෙනවාද?

නියත වශයෙන්ම ගොඩ එන්න පුළුවන්.

කොහොමද ඒ?

ඒ සඳහා දැනුවත්කම අධිෂ්ඨානය වටිනාකම් තියන හරි නායකත්වයක් අවශ්‍යයි.

වරෙක ඔබ දේශපාලනය ගැන කලකිරී නිහඬව සිටියා මට මතකයි. එලෙස සිටි ඔබ නැවත දේශපාලනයට පිවිසීමට බලපෑ සුවිශේෂී හේතුවක් තිබෙනවාද?

මම දේශපාලනයෙන් ඉවත් වී සිටියේ නැහැ හැමදාම මම එක්සත් ජාතික පක්ෂයේ සිටියත් නමුත් අර සිංහල කියමනක් තිබෙනවා රණ්ඩු වෙවී යාළු වෙවී කියන ඒ වගේ අපේ නායකතුමා සමග රණ්ඩු වෙවී යාළු වෙවී ගමනක් යා වරෙක මට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරනවා තවත් වරෙක යළි ඇතුළට ගන්නවා උප සභාපති කමට පත් කරනවා ඉන් ඉවත් කරනවා නැවත පත් කරනවා මෙලෙස රණ්ඩු වෙවී යාළු වෙවී සිටියත් ඒ කිසිවක් පුද්ගලික ප්‍රශ්න නොවෙයි ප්‍රතිපත්තිමය ප්‍රශ්න බව කිව යුතුයි.

මට වරෙක සිතුනා අපේ පක්ෂය උරුම ගමනින් පිටවනවා කියලා. උරුම මූලධර්මවලින් අපි ඉවත් වනවා කියා. මට සිතුණා එවැනි අවස්ථාවලදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ දී ඊට විරුද්ධව මගේ හඬ අවදි කර තිබෙනවා. පුද්ගලිකව කතා කර තිබෙනවා. විදේශ ප්‍රතිපත්ති ගැනත් පක්ෂය තුළ තිබෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් මට මත ගැටුම් තිබුණා. ඒ කිසිවක් පුද්ගලික ගැටුම් නොවෙයි. ද්වේශයෙන් වෛරයෙන් ඇතිකළ ගැටුමක් නොවේ.

මගේ දේශපාලන ගමන ආරම්භයේ සිට අභියෝගවලට මුහුණ දෙමින් විවිධ තනතුරු දරමින් මේ ගමන ඉදිරියට පැමිණීමට හැකිවුණා. ප්‍රථමයෙන් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ සභාපති ධුරයට පත්වුණා. ඉන්පසුව සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේ එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයේ අන්තර් විශ්ව විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සභාපති ලෙස පත් වුණා. පසුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභාපති, උපසභාපති, ප්‍රධාන ලේකම් වැනි තනතුරු ගණනාවක් දැරීමට හැකි වුණා. මේ කිසිදු තනතුරක් බන්දේසියක තබා මට දුන්නේ නැහැ. ඒ හැම තනතුරකට ම ඡන්දයක් පැවැත්වුණා. ඒ ඡන්ද ජයගෙන තමා තනතුරට පත් වුණේ. මගේ මතකයේ හැටියට පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරට පමණක් ඡන්දයෙන් තොරව මා පත්වුණා.

ඔබතුමා දේශපාලන අත්පොත තැබූ ඒ පක්ෂය අද අන්ත පරාජයකට පත් ව තිබෙනවා මේ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද ?

මට විශාල වේදනාවක් දැනෙනවා. ඒ වගේම මේ පක්ෂය මෙවැනි තැනකට පත්වීම ගැන කනගාටුවක් තිබෙනවා. මේ තත්ත්වයට පත්වීම ගැන කාටවත් ඇඟිල්ල දිගු කිරීමට හෝ ද්වේශයෙන් වෛරයෙන් චෝදනා කරන්න. මා බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මා විශ්වාස කරනවා සමගි ජන බලවේගය නමින් අපි පක්ෂයක් පිහිටෙව්වත් අපිව එතැනට තල්ලූ වුණා.

ආණ්ඩු විරෝධී බලවේග එකතු කර එක ව්‍යාපාරයක් පටන් ගත යුතු බව එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. එවැනි නායකත්වයක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවත් එතුමට අගමැති අපේක්ෂකයා බවට පත්කළ යුතුබවත් තීරණය කළා. නමුත් අවාසනාවකට මෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික ව ඒකමතිකව ගත් ඒ තීන්දු මැතිවරණයට නාම යෝජනා දීමට දින කිහිපයකට පෙර වෙනස් වෙනස් වුණා වෙනම කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය නමින් අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් ඉදිරිපත් වීමට සීමිත පිරිසක් තීරණය කළා මේ නිසා පක්ෂය දෙකඩ වුණා.

අද පක්ෂයට ඒ ඉරණම ජනතාව ලබා දුන්නත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒ අකුරු තුන නොවේ. සිරිකොත ගොඩනැගිල්ල නොවේ. එහි ප්‍රතිපත්ති තමා වැදගත් වන්නේ. ඒ ප්‍රතිපත්ති මුල්කරගත් දේශපාලන ව්‍යාපාරයක් අප ආරම්භ කළා. ඒ තුළින් ශ්‍රේෂ්ඨ ගමනක මුල් පියවර තැබීමට අපට හැකි වුණා. පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රී ආසන හැටහතරක් අපට ලැබුණා. ලංකා ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මාස කීපයකින් මෙවැනි ජයග්‍රහණ ලබා නැහැ. බණ්ඩාරනායක මැතිතුමාට එදා ආසන හයක් හතක් දිනාගන්න අවුරුදු හතර හමාරක් ගත වුණා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අය මූලධර්ම වටිනාකම් ප්‍රතිපත්ති ගරු කරන සියලූ බලවේග මෙතනට ඒකරාශී කරගත යුතුය යන ස්ථාවරයේ මා සිටිනවා.

ඒ සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද?

එක්සත් ජාතික පක්ෂය පමණක් නොව රට පුරා තිබෙන සියලු බලවේග සමගි ජන බලවේගය වටා රොද බැඳගෙන ඉදිරියට යාමට දැන් සූදානමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය දරන පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් විශාල පිරිසක් අප සමග එක්වෙන්න සාකච්ඡා කර තිබෙනවා.

සමගි ජන බලවේගය සමග රවුෆ් හකීම්ලා, දිගම්බරම්ලා, චම්පික රණවකලා, මනෝ ගනේෂන්ලා රාජිතලා සිටිනවා. ඒ කවුරු සිටියත් මෙහි බහුතරය එක්සත් ජාතික පක්ෂයේ. එම පක්ෂය ආරම්භ කළ මූලධර්ම අපි ආරක්ෂා කරගත යුතුයි. අතීත නායකයින් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් මවාපු සිහින අප ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා අපි එකතු වී ශක්තිමත් මාවතක් ආරම්භ කළ යුතුය යන ස්ථාවරයේ මා සිටිනවා.

වත්මන් ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව ඔබතුමාගේ නිගමනය කුමක්ද?

අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි අසාර්ථක වූ පාලනයක් නිදහස් ලංකා ඉතිහාසයේ මා දැක නැහැ. අද මේ පාලනය හමුවේ රටේ ජනතාව වික්ෂිප්ත වෙලා. කර කියාගන්න දෙයක් නැතුව බලා සිටිනවා. ජනතා විශ්වාසය බිඳ වැටිලා. මේ අසමත් ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා.

කුමන සාධක මත පදනම් ව ද මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් ලෙස නම් කරන්නේ?

වෙන මොකුත් ඕන නෑ අද ලෝකයේ අපේ රට මෙන් දියුණු වීමට දඟලන රටවල් කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා නොයෙක් ක්‍රම ඔස්සේ සූදානම් වෙනවා ප්‍රතිකාර ක්‍රම ගැන සොයනවා ඒවට මුදල් සොයා ගත හැකි ක්‍රම ගැන අවධානය යොමු කර තිබෙනවා ඒවා ගැන වෙනත් රටවල් සමඟ සාකච්ඡා කරනවා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරනවා ඒවා සමග එකට වැඩ කරනවා මෙලෙස එම රටවල් ලෝකය සමඟ එකතු වී වැඩ කරන්න සැලසුම් කරනවා. නමුත් අවාසනාවකට මෙන් අපි ඒ කිසිවක් ගැන අවධානය යොමු කර නැහැ.

අද මේ රටේ අපනයන ආර්ථිකය කඩාවැටිල. අපේ නිෂ්පාදන කඩාවැටිලා. කම්හල් වැසිලා. රැකියා අහිමි වී ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. වැසුනු ආයතන පණගන්වා අහිමි වූ රැකියා යළි ලබා දී මේ අහිංසක ජනතාව ජීවත් කරවීමට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැහැ. නිවෙස්වලට කොටු වී සිටින අයගේ වටිනා කාලය රටේ අනාගතයට ඵලදායී ලෙස යොදා ගැනීමට උපාය මාර්ග යොදා තිබෙනවා ද? ඒ කිසිවක් සිදුකර නැහැ. ඒ ගැන හිතලවත් නැහැ. ලොව බොහෝ රටවල් මේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමුකර මේ වන විට එය රටවල් බොහෝ දුර ගොස් තිබෙනවා.

උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ අපේ රට එක තැන පල්වෙනවා. මේ ආණ්ඩුව සහ පාලකයින් ජනතාවට බොරු කරනවා. අරලියගහ මන්දිරය වසා තිබෙනවා කියා අපට අපිට දැනගන්නේ නිල ප්‍රකාශයකින් නෙවෙයි. එවැනි දෑ අපට දැනගන්න ලැබෙන්නේ සමාජ මාධ්‍ය ජාලවලින්. මෙලෙස රටක් පාලනය කරන්න බැහැ. විනිවිද පෙනෙන තත්ත්වයක් තිබිය යුතුයි. සත්‍ය කතා කළ යුතුයි. සැබෑ අභියෝගවලට මුහුණ දිය යුතුයි.

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් 108 කට තුවාල සිදුවුණා. 11ක් මියගියා. තවත් පිරිසකට කොරෝනා වැළඳී තිබෙනවා. නමුත් මේ අය මිය ගියේ කොරෝනා නිසා ද මේ මිනීවලට වගකියන්න ඕන කවුද? කිසිදු වගකීමක් නැහැ. මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්න අවශ්‍ය බව විෂය භාර ඇමතිට උදේ ප්‍රකාශ කළා. සවස වන විට ඇය ඇමතිකමෙනුත් ඉවත් කරලා මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්වලට විසඳුමක් නැහැ. හැම විටම කතාවට බොරු කරනවා. දැන් සූදානම් වෙන්නේ මර්දනයට. එවැනි සංශෝධන හරහා ඊට අවශ්‍ය පසුබිමක් හදාගෙන තිබෙනවා. රටේ ප්‍රශ්න ගැන අවබෝධයක් දැක්මක් නැහැ. යන මඟ ගැන නිශ්චිත දැක්මක් නැහැ. ආණ්ඩුව ඇතුළේ තිබෙන්නේ කඹ ඇදීමක් පමණයි. මේ අය දැන් අධිපතිවාදී ගමනකට සූදානම් වෙනවා.

මේ පාලකයින්ට මා අනතුරු අඟවනවා. මෙලෙස වැඩි බලයක් ලබාගෙන අධිපතිවාදී ගමනක් යාමට උත්සාහ කළ පාලකයින්ට ලෝකයේ දඬුවම් ලබා දී තිබෙනවා. එය අපේ රටෙත් සිදුව තිබෙනවා. බණ්ඩාරනායක මැතිනිය සිය පාලන කාලය 1975 සිට 1977 දිගු කරගත්තා. නමුත් 77 සිදුවුණේ කුමක්ද? ජේ ආර් ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් ලබා දුන්නා. ඉන්දිරා ගාන්ධි මැතිනිය මර්දනයට යොමු වී අධිපතිවාදි ගමනක් යෑමට උත්සාහ කළා. ඒ නිසාම ඇය නියෝජනය කළ කොංග්‍රස් පක්ෂයට ඉතිහාසයේ ලොකුම පරාජය අත්කර දුන්නා. මේවගෙන් මෙරට පාලකයෝ පාඩම් ඉගෙන ගත යුතුයි. රටේ ප්‍රශ්නවලට විසඳුම් නැති වන විට ඒ සඳහා ඇති එකම විසඳුම අධිපතිවාදය නොවේ.

ආණ්ඩුව හෝ යම් පාලකයෙක් ජනතාව මර්දනය කරමින් අධිපතිවාදි ගමනක් යනවා නම් ඒ පාලනය නිසිමඟට ගැනීමට විපක්ෂයට ද වගකීමක් පැවරී තිබෙනවා. ඔබ ඔය කියන කාරණා සිදු වෙනවා නම් එය නිවැරදි කිරීමට විපක්ෂය විසින් ගෙන තිබෙන පියවර කුමක්ද?

සමගි ජන බලවේගයේ සිටින්නේ මන්ත්‍රීවරු පනස් හතර දෙනෙක් වුනත් ඉතාම ශක්තිමත්ව අපි කටයුතු කරගෙන යනවා. හැමෝම එකා මෙන් කැපවී කටයුතු කරනවා. ඔබ දකිනවා ඇති අපි පාර්ලිමේන්තුවේ වාද විවාද සජීවීව විකාශනය වෙනවා. නමුත් මාධ්‍යවේදීන්ට දොරටුව වසා තිබෙනවා. එහි පැවැත්වෙන වාද විවාදවලට අගමැතිවරයා සහභාගි වන්නේ නෑ. ක්‍රීඩා විෂය ගැන වාද විවාද කරන විට ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තුවේ නෑ. ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය ගැන විවාද කරන විට ජනාධිපතිතුමා විවාදයට සහභාගි වෙන්නේ නැහැ. මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුව අවතක්සේරු කරනවා. මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව තුළට පිවිසීමට අවසරය තිබෙනවා නම් එය සිදුවන සත්‍ය තොරතුරු ජනතාව අතට ගෙන යා හැකියි. ඒ නිදහස අහිමි කර තිබෙනවා. මේ රට ධනාත්මකව ඉදිරියට ගෙන ගෙනයෑම සම්බන්ධව වගකීමෙන් යුතුව සාකච්ඡාවක් කරන්න විපක්ෂයට අද අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ පාලකයින් මුල්තැන දෙන්නේ මඩගැසීම හා විරුද්ධවාදී දේශපාලකයින්ට අපහාස කිරීම පමණයි.

නමුත් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ඊට වඩා වෙනස් දෙයක් කොරෝනා මෙන්ම සමාජ ආර්ථික ප්‍රශ්නවලදී වත්මන් විපක්ෂයෙන් ආණ්ඩුවට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවට ඔවුන් චෝදනා කරනවා.?

මේ ආණ්ඩුවට විපක්ෂයේ සහයෝගය ලබා ගැනීමට කිසිම උවමනාවක් නැති බව ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළින් ඔප්පු කර තිබෙනවා. මෙරට පරිණත දේශපාලකයකු වන තිස්ස විතාරණ මැතිතුමා ප්‍රකාශ කර තිබුණා කොරෝනා අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස. නමුත් ආණ්ඩුව අද ඒ යෝජනාව කුණු කූඩයට විසි කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමේ දී ඒ පනත පිළිබඳව සොයා බලා එකඟත්වයක් ඇතිකර ගැනීම ඇතුළු වැදගත් කරුණු ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවා තිබුණා. අද ඒ සියල්ල අකර්මණ්‍ය කර තිබෙනවා ඒකාධිපති ගමනට අවශ්‍ය කරන කටයුතුවලට පමණක් මුල් තැන දී තිබෙනවා මෙය වැරදි මෙහෙම රටක් ඉදිරියට ගෙන යන්න බැහැ.

කොරෝනා වලින් මිය යන අයගේ මළ සිරුරු ආදාහනය කරනවා ද භූමදාන කරනවාද යන්න පුළුල් කතිකාවතක් මේ වන විට රට තුළ උද්ගතව තිබෙනවා. ඉස්ලාම් ජාතිකයින් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ මරණ භූමදානය කිරීමට ඉඩ දෙන ලෙසයි මේ සම්බන්ධව ඔබේ ස්ථාවරය දැනගන්න කැමතියි. ?

ජීවතුන් අතර සිටින මිනිස්සුන්ට ගෞරවය දක්වනවා වගේම මැරිච්ච මිනිස්සුන්ට ද ද ඒ ගෞරවය දැක්විය යුතුය කියා මා අදහන ඉස්ලාම් ආගමේ සඳහන් වෙනවා ඒ අනුව ඉස්ලාම් සමාජයේ ජීවතුන් අතර සිටින අයගේ වගකීමක් වන්නේ අපේ ආගමේ සිරිත් විරිත් වලට අනුව මේ යන අයට ගෞරවනීය භූමදානයක් ලබාදීම. අපේ ආගමට අනුව මිය යන අයගේ දේහය නාවලා මැහුම් නැති සුදු රෙදිවලින් ඔතලා භූමදානය කරනවා.

රටේ එක් එක් ආගම්වල විවිධත්වයක් තිබෙනවා. විවිධත්වය අප තේරුම් ගත යුතුයි. මේ විවිධත්වය අප ඉවසිය යුතුයි. මේ විවිධත්වයට අප ගරු කළ යුතුයි. එය තමා මානුෂික කම. ඒ තමා මිනිස්කම. ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයෝ පරීක්ෂණ කර ආදාහනය හෝ භූමදානය කළ යුතු ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා යම් යම් කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම විවිධ දේශගුණයන් හා විවිධ භූගෝලීය පරිසරය තිබෙන රටවල් එකසිය අනූ ගනනක් මේවා අනුගමනය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ම පෙළේ විද්‍යාඥයන් ලබාදුන් උපදෙස්වලට අනුව එම රටවල් මේ සම්බන්ධව ක්‍රියා කරමින් සිටිනවා.

මේ සම්බන්ධව ලංකාවේ සිටින ඉහළ පෙළේ විශේෂඥයන් වන මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, මහාචාර්ය ෂෙරිෆ්ඩීන් වැනි මහත්වරු ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී තිබෙන තීන්දුව පිළිගෙන තිබෙනවා. නමුත් අද මේ ආණ්ඩුව කුමක්ද කරන්නේ? ඒ කිසිවකුගේ මතයකට ඇහුම්කන් නොදී රජයේ කනිෂ්ඨ වෛද්‍යවරු යොදාගෙන ආණ්ඩුවේ මතය සමාජගත කරන්න උත්සාහ කරනවා. වසංගත රෝග පිළිබඳව ලංකාවේ සිටින ඉහළ පෙළේ උගතෙක් මහාචාර්ය තිස්ස විතාරණ. එතුමා අද පාර්ලිමේන්තුව නියෝජනය කළත් මේ සම්බන්ධව තීරණ ගන්න කමිටුවට පත් කර නැහැ. වජිර දිසානායක වැනි උගතුන්ට ඒ කමිටුවේ ඉඩක් ලැබී නැහැ. ඒ සියලු දොරගුළු අගුළු දා කොරෝනා මතින් මේ ආණ්ඩුව දේශපාලන ගමනක් යෑමට උත්සාහ කරනවා. කොරෝනාවලින් මිය යන අයගේ මළ සිරුරු භූමදානය කළ හැකි බවට පතුරමින් ආණ්ඩුව ගැසට් එකක් නිකුත් කළා. පසුව එය අවලංගු කළා. මේක තමයි වර්ගවාදී දේශපාලනය. මේ තමයි තමන්ගේ පැවැත්ම සොයන දේශපාලනය. මේ වර්ගවාදී දේශපාලනය අපේ රට විනාශ කර තිබෙනවා. දේශපාලනය නිසා ඇති වූ ගැටුම් නිසා දශක ගණනාවක් මේ රට ආපස්සට තල්ලු වී තිබෙනවා. තවදුරටත් මේ වර්ගවාදී දේශපාලනයෙන් අපේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. ලංකාව ගැන ලී ක්වාන් යූ ගේ ප්‍රකාශයක් මට සිහිපත් වෙනවා. කවදා හෝ සිංගප්පූරුව ලංකාවක් බවට පත් කළ යුතු බව ප්‍රකාශ කළා. පසුව 1980 අගභාගයේදී ලංකාව දෙස බලා ඔහු ප්‍රකාශ කළේ ලංකාවේ පසුගාමීත්වයට හේතුව වර්ගවාදය බවයි. බලය ගත්තත් වර්ගවාදය පාවිච්චි කරනවා. ප්‍රශ්නවලට විසඳුම් නැති වෙන විට බලය රැකගන්න වර්ගවාදය පතුරුවනවා. ආණ්ඩුවට අවනත වූ මාධ්‍ය පාවිච්චි කරමින් සිදුකරන සිදුකරන මේ විනාශයෙන් අපි ලෝකය හුදකලා වූ රටක් බවට පත්වෙනවා.

කොරෝනා වැළඳී මියයන අයගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයත්, රතු කුරුස සංවිධානය, මානව අයිතිවාසිකම් පිළිගත් ලෝක සංවිධාන මුස්ලිම් රටවල් නියෝජනය කරන මූලස්ථානය ලංකාවේ තිබෙන මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසම වැනි අංශ ප්‍රකාශ කරනවා. මීටත් වඩා තව මොනවද ?

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් නායකත්වයට අසීමිත බලයක් තැවරී තිබීමෙන් එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවිධ අවස්ථාවල ගැටලු මතුවුණා. සමගි ජන බලවේගයක් අද නිර්මාණය කර ඇත්තේ එවැනි ව්‍යවස්ථාවකින් නේද?

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව නීතිඥ කණ්ඩායම විසින් කෙටුම්පත් කළා. ඊට මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා දීමට දින දෙකක් වෙන් කර දී තිබුණා. ඔවුන්ට ඇහුම්කන් දීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක හා මහලේකම් පත් කළා. නායක සජිත් ප්‍රේමදාස මහතා ව්‍යවස්ථාව සම්පාදනය කරන එම කටයුත්තට සහභාගි නොවී එය වඩාත් ස්වාධීනව හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කරගෙන යෑමට අවකාශය සලසා දී තිබුණ බව කිව යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පක්ෂ ව්‍යවස්ථාව සකස් කිරීමේදී විවිධ අදහස් හා තර්ක විතර්ක පැවතුණා. එහෙත් ඒ තුළින් සියලු දෙනාට පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන්ගෙන් සමන්විත ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට හැකිවන බව මගේ විශ්වාසයයි.

Exit mobile version