රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

එ.ජා.ප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර නුවරදී කියයි...

මේ රට ගොඩනගන්න අවශ්‍ය නායකයකු සමග එක්වනවා මිස බයිලා ගහන උදවිය සමග එක්වීමේ  කිසිදු බලාපොරොත්තුවක්  නැති බවත් කිසිදින සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ හතරමායිමකයට හෝ ගොස් නැති බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කීය. 

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  අද (24) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක අනුශාසනා ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා  තුට්ටු  දෙකට එක එක කෙනා ලඟ වැටෙනවාට වඩා නම්බුකාර ලෙස  දේශපාලන ප්‍රතිපත්තිය රැක ගෙන සිටීමට හැකි වීම පිළිබඳව තමන් ආඩම්බර වන බව කීවේය.  මාළුවාගේ ආයුකාලය ජලය සමග තීරණය වන්නා සේම  දේශපාලකයාගේ බලය තීරණය වන්නේ මහජනතාව සමග සිටින තාක්කල් පමණක් බව ද ඔහු පැවසීය. 


 එජාපය  අදටත් ප්‍රබල පක්ෂයක් ලෙස නැගී සිටින බවත් සමගි ජන බලවේගය සමග ඉකුත් කාලයේ එක් වූ රත්නපුර බදුල්ල කෑගල්ල වැනි ප්‍රදේශවල උදවිය මේ වන විට යළි එජාපය සමග එක්ව ඇති බවත් හෙතෙම කීය.  පොදු ජන එක්සත් පෙරමුණ සාමාජිකයින් ද දැන් එක්සත් ජාතික පක්ෂයට  එක්වන බැවින් එජාප සාමාජිකයන් මේ වන විට වෙනත් උදවියගේ අගුපිල්වල ලගින්න යන්න තීරණයක් නැති බවද කීය. 

අදටත් ශක්තිමත් පක්ෂයක් ලෙස නැගී සිටිය හැකි පසුබිම එජාපයට ඇති බවකී පක්ෂ මහලේකම්වරයා  සංධානයක් ලෙස වැඩ කටයුතු කරමින් සිටියදි සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමු කී විට අපි පොදු තීරණයක් ගත් බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට යෝජනා වන විටද එවන් ම වූ පසුබිමක් තිබූ බවත් කී ය. 

 කෘත්‍යාධිකාරි මණ්ඩලයත් කළමනාකරණ කමිටුවත්  ගත් තීරණයට අනුව රනිල් වික්‍රමසිංහ නායකතුමාව පාර්ලිමේන්තු යැවීමට එකඟ වී තිබෙන බව පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද කියා සිටියේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂයකට නායකයකු නොව රටට නායකයෙක් බව ඔහු වැඩිදුරටත් කීවේය. . 

 

 

Exit mobile version