මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ආයුධ පාවිච්චි නොකරන්නැයි ඉහළින් උපදෙස් දීලා!ඇමති ප්‍රසන්න කියයි

පසුගිය වසරේ මැයි මස 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් ගාලු මුවදොර ගෝටාගෝගම පරිශ්‍රයට කළ මැර ප්‍රහාරයෙන් පසුව රට තුළ හට ගත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා පාලනයේදී ආයුධ භවිත නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහළන් නියෝග ලැබී තිබුණු බවට තමන් දැනුවත්ව සිටි බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් ඇති බවත් එබැවින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අමාත්‍යවරයා යෝජනා කළේය.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි. එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


මාධ්‍යවේදීන් විසින් නනගන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.

ප්‍රශ්නය – ඔබ මානව හිමිකම් කොමිසමට ආවේ ඇයි?

පිළිතුර– 2021 මැයි 9 වැනිදා නිවාස ගිණි තැබීමෙන් අපේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමෙන් මට කැඳවීමක් ලැබුණා. ඒ අනුව මම ඇවිල්ලා අවශ්‍ය තොරතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය – මොනවද ලබාදුන්න තොරතුරු ?

පිළිතුර– මගේ නිවස ගිණි තියනකොට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් ඒ ස්ථානයේ හිටියා. ඔවුන් අවම බලය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳත්, ගිණි තැබීමේ සිද්ධියෙන් පසුව පරීක්ෂණ කටයුතු සාධාරණව සිදු නොවීම පිළිබඳව හා මින් ඉදිරියට එවැනි සිදුවීම් නොවීමට වග බලා ගැනීම ගැන නිලධාරින් දැනුවත් කළා.

ප්‍රශ්නය– ඔබගේ නිවාස ගිණි තැබීම ගැන පමණද කතා කළේ?

පිළිතුර– නෑ… මන්ත්‍රීවරුන් වගේම නිවාස ගිණි ගැනීමට ලක්වීම ගැන පැමිණිලි කළ අයත් වරින් වර කැඳවල තිබුණා. මටත් මීට කලින් කැඳවීමක් ලැබිල තිබුණා. මට එන්න බැරිවුණා. අද ලැබුණු කැඳවීමට ඇවිල්ලා තොරතුරු දුන්නා.

ප්‍රශ්නය– මෙවැනි සිදුවීමකදී දණහිසෙන් පහළට වෙඩි තියන්න පොලිසියට පුළුවන්. නමුත් මෙතනදි පොලිසිය බලාගෙන හිටියේ ඉහළින් ලැබුණු නියෝග නිසාද?

පිළිතුර– ඒක තමයි’ අපිටත් තිබෙන ගැටලුව. මෙතනදි ඒ ගැනත් සාකච්ඡා කළා. පොලිසිය හා හමුදාව එකම ආකාරයට හැසිරීම ගැන ගැටලුවක් තියෙනවා. ඒ සදහා අනුබල දුන්න අය කවුද කියල හොයන්න ඕන. ආයුධ පාවිච්චි නොකරන ලෙසට ආරක්ෂක අංශවලට ඉහලින් නියෝග ලැබුණු බවට අපිව දැනුවත් වෙලා තිබුණා.

ප්‍රශ්නය– හිටපු ඇමති සරත් වීරසේකර කියල තිබුණා මේ ගැන පොලිසිය සම්බන්ධවත් පරීක්ෂණයක් කරන්න ඕන කියල?

පිළිතුර- මම කියන්නේ පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරල මේ ගැන හොයන්න ඕන කියලයි. මොකද මෙවැනි සිදුවීමක් ගැන බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක මෙවැනි දෙයක් සිදුවීම ගැන අපටත් ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය– මානව හිමිකම් කොමිසමට වඩා තැනක් තිබුණේ නැද්ද ?

පිළිතුරු– ඒක තමයි පූර්ණ බලතල තිබෙන ජනාධිපති කොමිසමක් පත්කරලා මේ ගැන හොයන්න කියන්නේ. මේක ගෝල්ෆේස් අරගලය එක්ක ඇතිවුණ සිදුවීමක් කියල හුදකලා කරන්න බැහැ.මොකද මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. එවැනි පසුබිමක ආරක්ෂක ලේකම්තුමා, පොලිසිය,හමුදාව කටයුතු කළේ කොහොමද කියල අපිට ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය– ගෙවල් ගිණි තැබීම සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවුණේ ජනතා විමුක්ති පෙරමුණටයි.

පිළිතුර– මම අදත් වගකීමෙන් කියනව මගේ ගෙදර ගිණි තියන්න ආපු පුද්ගලය තමයි මිනුවන්ගොඩ රැස්වීමේ ප්‍රධාන කතිකයා වුණේ. අරගලයට කලින් අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට හෙල්මට් දා ගත්තු පුද්ගලයෙක් එතුමගෙ කැබ් එකට නැග්ගා. මේ පහරදීම් හැම එකකටම හෙල්මට් කල්ලියක් සම්බන්ධයි. මේ සම්බන්ධකම් ගැන හොයන්න කියල අපි කොමිසමේන් ඉල්ලුවා.

ප්‍රශ්නය– අරලියගහ මන්දිරයේ රැස්වීමෙන් පසුව ගෝල්ෆේස් එකට පහරදීපු නිසානෙ මෙවැනි සිද්ධියක් වෙන්න. එදා ඒ පහරදීම වළක්වා ගත්තා නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ නේද?

පිළිතුර– මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ දැනුවත් කරල තිබුණා. ඇයි වළක්වා ගන්න බැරි වුණේ. මේක සැලසුම් සහගත වැඩක්.

ප්‍රශ්නය– ඔබ නියෝජනය කරන පක්ෂයට මේක වළක්වා ගන්න තිබුණනේද?

පිළිතුර– මම හිතනව එහෙම වුණා නම් හොඳයි කියල. නමුත් යම් සිදුවීමක් වුණා. ගෝල්ෆේස් එකේ සිද්ධියට සම්බන්ධ අය එක්ක ගණුදෙනුව බේරගන්නව මිසක රටේ අහිංසක මිනිස්සුගෙ ගෙවල් ගිණි තියන එක වැරදියි. මම එදා අරලියගහ මන්දිරයට ගියේ නැහැ. ඒත් මගේ ගේ ගිණි තිව්වා. රැස්වීමට නොගිය මගේ ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ ගෙවලුත් ගිණි තිව්වා. ඒව දේශපාලන උවමනාවක් මත වුණ දෙයක්.කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකළ දෙයක් බව මම වගකීමෙන් කියනවා.

ප්‍රශ්නය– අරගලයට පහර දෙන්න නියෝජ්‍ය ඇමතිවරුන් සම්බන්ධ වුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර– ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් මිනිස්සු කුලප්පු කරපු ආගමික නායකයෝ, කලාකරුවන් සම්බන්ධයෙන් පොලිසිය ගත්තු පියවර මොකක්ද. නීතිය හැමෝටම එකක් වෙන්න ඕන.

Exit mobile version