ඊයේ ගම්පහ සමුළුවට කුණු බිත්තර ගැසූ කතාවේ මුල මැද අග විජිත හෙළි කරයි!

ඊයේ කලගෙඩිහේන ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කුණු බිත්තර ප්‍රහාර එල්ල කළ මැර කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාර්ඩ් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශයට පත් කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී  පැවැත් වූ මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රචාරක ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම බිත්තර ප්‍රහාරය මෙන්ම මින් පෙර පිටකොටුවේ දී එල්ල වුණු මැර ප්‍රහාරය පසුපසත් සිටින්නේ නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් සමාගම බවය.

ඔහු මාධ්‍ය හමුව අමතා සියල්ල හෙළි කරනු ලැබුවේ මෙසේය.


“ඊයේ (30) කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසලදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා.

ඇවන්ගාර්ඩ් මැරයො

ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසල කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා. මෙම පිරිස  මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි.

පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා.

එක මැරයෙක් නම් වෙනස් කරගෙන

ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු  තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි.

අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා.

මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.

මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි.

ඇවන්ගාර්ඩ් මැර කණ්ඩායම් දෙක

මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා.

කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි.

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතියි. ඔහු ගෝටාභය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුවූ  දෙදෙනා විසින් කරන  ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන්  කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව අප සමග ගැටෙන්නට එන ලෙසයි. මේ රට ගොඩනැගීම පිළිබඳව ඕනෑම ප්‍රතිපත්තිමය සංවාදයකට අපි සූදානම්. එසේ නැතුව මෙවැනි ආකාරයේ පහත් නින්දිත  ක්‍රියාමාර්ගවලින් අප සමග හැප්පෙන්නට නොඑන ලෙස අවධාරණය කරනවා. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ ආණ්ඩුව ජනතාව අතර තව තවත් අප්‍රසාදයට ලක්වීම පමණයි.

මෙවැනි නින්දිත සිදුවීම්වලින් අපි, අපේ සාමාජිකයන්, අපේ ආධාරකරුවන් තව තවත් ධෛර්යමත් වෙනවා. ගෝඨාභය මහත්මයාට දේශපාලනය බින්දුවක් හරි තේරෙනවානම් මෙවැනි පහත් නීච ක්‍රියාවලින් සිදුවන දෙය තේරුම් ගත යුතුයි.

මෙවැනි නින්දිත ක්‍රියා නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපි ඉදිරියට යද්දී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාට හෝ අපගේ ඕනෑම සහෝදරයෙකුගේ ජීවිතයට යම් අනතුරක් ඇති කළොත් ඊට වගකිව යුත්තේ මොවුන් බව මෙම සිදුවීම්වලින් ඉතාම පැහැදිලියි. මේ අවදානමත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

මෙය කාගේ වුවමනාවට සිදුවු දෙයක්ද යන්න මුළු ලෝකයම දන්නවා. එක් පුද්ගලයෙක් ප්‍රසන්න රණතුංගගෙන් ඕනෑ දෙයක් කර ගත හැකි යැයි තමන්ට කී බව කියනවා. මේ සිද්ධිය පිටුපස දේශපාලනය ඉතාම පැහැදිලියි.

දැන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතයි. මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉල්ලනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුව එසේ නොකරන්නේනම් මේ ආණ්ඩුව පලවා හැර එසේ කිරීමේ වගකීම ජනතාව බාරගනීවි.

Exit mobile version