ඉදිරියේ ගොඩ නැගෙන සන්ධානය මෙහෙයවන ප්‍රධාන පක්ෂය අපියි… හිටපු ජනපති මෛත්‍රී කියයි!

මැතිවරණයකින් බලය ලබා ගැනීම සඳහා පක්ෂ එකතු වී ගොඩනගන ප්‍රගතිශීලි වැඩපිළිවෙළ තුළ වැඩිම ජනතාවක් නියෝජනය කරන ශ්‍රීලනිපය සෙසු පක්ෂ අතර ප්‍රධාන පක්ෂය ලෙස කටයුතු කිරීම සඳහා තවත් ශක්තිමත් කළ යුතු බව හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන   පවසයි.

ශ්‍රීලනිපයට මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 14 ක් හා පළාත් පාලන ආයතන වල 1600 ක පමණ නියෝජනයක් තිබෙන බවද ඔහු  කීය.

ගම්පොළ ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය ගල්ගෙඩියාව ප්‍රදේශයේදී විවෘත කරමින් හිටපු ජනපතිවරයා මේ බව පැවසුවේය.

එහිදී හිටපු ජනපතිවරයා මෙසේද කීවේය.


අද ජනතාව ඉන්නේ විශාල කළකිරීමකින්. ගෑස්,ඉන්ධන පෝලීම් නිර්මාණය වෙලා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන සතුටින් සිටින ජනතාවක් බිහිකරන්න ඕන. ඊළඟ මැතිවරණකින් ආණ්ඩුවක් ගොඩනගන තෙක් අනෙක් ප්‍රධාන බලවේග ඒකාරාශි කරලා පක්ෂ එකොළහ ශක්තිමත් කරගෙන ප්‍රගතිශීලි වැඩපිළිවෙළක්  ගෙනියන්න ඕන. ඒ සඳහා ශ්‍රීලනිපය ශක්තිමත් කළ යුතුයි. අනෙක් පක්ෂ හා සම්බන්ධ වෙනකොට ශ්‍රීලනිපය ශක්තිමත් වෙන්න ඕන. අපි ඒ පක්ෂ අතර ප්‍රධාන පක්ෂය ලෙස වැඩි ජනතාවක් නියෝජනය කරන පක්ෂය විදිහට  කටයුතු කළ යුතුයි.

ශ්‍රීලනිපය දුර්වල වෙලා කියලා සමහරු කියනවා. මේ පක්ෂය ආසන 08 ට බැස්සා. තුනට කැඩුණා. ඊට පසුකාලීනව අපි ශක්තිමත් ගොඩනැගිලා ආණ්ඩු පිහිටෙව්වා. අද මන්ත්‍රීවරු 14 ක් ඉන්නවා. පළාත් පාලන මන්ත්‍රීවරු 1600 ක් ඉන්නවා. අප වටා පුළුල් බලවේගයක් තිබෙනවා .මේක සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන සියලු ජනතාවට සමානත්වයෙන් සලකන පක්ෂයක්

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා ශ්‍රීලනිපය තමයි රජයට යෝජනා කළේ. කාරක සභාවේ සම්මත කරලා අපි යෝජනා 15 ක් බාර දුන්නා. ඒවා සකච්ඡා කරන්න ගිය අවස්ථාවේ රටේ පවතින  සමාජ, ආර්ථික අර්බුදය ගැන අපි කිව්වා. ආර්ථික ප්‍රශ්නයට, විදුලිය ප්‍රශ්නයට විසඳුම් යේජනා කළා.

අපට ජාත්‍යන්තර සහය නැතුව ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම පහසු නැහැ. ලෝකයේ සියලු රටවල් එදා මට සහය දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංගමය මැදපෙරදිග රටවල් සියල්ල මට ශක්තියක් දුන්නා.

අද විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. එක්ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු ලෝකයේ අනිකුත් රටවල් රටක ආණ්ඩුවකට උදව් කරන්නේ ඒ රටේ නායකයා සුදුද කළුද කියලා බලලා නෙවෙයි. ඒ රටේ ජනාධිපති, අගමැති දිහා බලල  නෙවෙයි. නායකයාගේ පෞද්ගලික චරිතය එයාලට අදාළ නැහැ. ඔවුන් බලන්නේ මූලික වශයෙන් රට පාලනය කරන ප්‍රතිපත්ති මොනවද කියලයි.

මම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ යනවා කියලා එදා කිව්වා. ඒ තරමට මිනිස්සුන්ට නිදහස දුන්නා. මානව හිමිකම් ආරක්ෂා කළා. ස්වධීන කොමිෂන් සභා ඇති කළා. දූෂණ වංචා නැති කරන්න අල්ලස් හා දූෂණ කොමිසම ශක්තමත් කළා. විගණන කොමිසමක් හැදුවා. මේ ආණ්ඩුව 20 වැනි සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කළා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි දුන්න යෝජනා ක්‍රියාත්මක කිරීම රජයට බාරයි. එවැනි විධිමත් සැළසුම් සහගත යෝජනාවලියක්. සර්වපාක්ෂික සමුළුවේදී වෙනත් කිසිදු පක්ෂයක් ඉදිරිපත් කළේ නැහැ. බොහෝ අය ඇවිත් කටින් මොනවා හරි කිව්වා. එක්කෙනක් දෙන්නෙක් කොළ කෑලි වල ලියාගෙන ඇවිත් කියෙව්වා. ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න සැළසුමක් අනුව වැඩ කරන්න ඕන.

Exit mobile version