සදෙව් රත්නායක –
හිජාබය නොපැලඳ වරලස මුදා හැරීමත්, ඉරාන රජය විවේචනය කිරීමත් නිසා මාසියා අලෙන්ජාඩ් දැනටමත් සෑහෙන වන්දියක් ගෙවා හමාරයි. ඇයට සිර දඬුවම් නියමවීම නිසා තම උපන් රට වූ ඉරානයට යාමටවත්, පවුලේ සාමාජිකයන් දැකබලා ගැනීමටවත් ඇයට ඉඩක් නෑ. මුස්ලිම් කාන්තාවට හිජාබයෙන් හිස ආවරණය කිරීමේ හෝ නොකිරීමේ අයිතිය ලැබිය යුතු බවයි ඇය පුන පුනා කියන්නේ.
මාසියා මුස්ලිම් ජාතික කාන්තාවක් වූවත් ඇය හිස ආවරණය කරන්නේ නෑ. ඇගේ රැලිගැසුණු හිසකෙස් උරහිස දක්වා මුදා හරිමින් ඇය අප්‍රමාණවූ නිදහසක් භුක්ති විඳිමිනුයි සිටින්නේ. ඇයට එසේ වුවත් එය දැන් ඉරානයේ දේශපාලනික කාරණාවක් බවට පත්වෙලා. ඉරානයේ මුස්ලිම් කාන්තාවගේ නිදහස වෙනුවෙන් නිහඬ අරගලයක නිරතව සිටින 43 හැවිරිදි මේ අපුරු කාන්තාව ජීවත් වන්නේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ.
ඇය උපන්නේ උතුරු ඉරානයේ ගොමිකෝලා නම් වූ දිළිඳු ගම්මානයකයි. ඇගේ පියා පදික වෙළෙන්ඳෙක්. අකුරු ලිවීමට හෝ කියැවීමට නොදත් ඇගේ මව දරුවන් හයදෙනකු ඇති දැඩි කළේ එක් කාමරයක් පමණක් සහිත කුඩා නිවසකයි. නිර්භීත බව ඇය මුලින්ම ඉගෙන ගත්තේ ඇගේ වැඩිමල් සොයුරා නිසයි. නිර්භීත පෙනුමක් සහිත වූවත් ඇගේ සොයුරා රාත්‍රී අන්ධකාරයට දැඩි බියක් දැක්වුවා. ඔහුට රාත්‍රීයේ වැසිකිලියට යාමට පවා තනියට ඇය යායුතුව තිබුණා. එය ඇගේ බිය තුරන් කිරීමට හේතුවූ මුල්ම සාධකයයි. අඳුර සමග ගනුදෙනු කරන ආකාරය ඇය උගත්තේ එලෙසිනුයි. ඒ වගේම ඇගේ මවත් ඇයට නිර්භීත වන්නට විශාල දිරියක් වුණා.
‘ඉරානය කාන්තාවට අඳුරු තැනක්. ඒ නිසා ඔවුන් හැකිතරම් පුළුල් ලෙස දෑස් විවර කළ යුතුයි. අන්ධකාරයේ බිය තුරන් කර හැරිමට එකම මාර්ගය එයයි. ‘ ඇය මේ උපදේශය ඉරානයේ සියලුම කාන්තාවන්ට දැනෙන්නට සැලැස්සුවා.
1979 ඉරාන විප්ලවයෙන් ෂා රජු නෙරපා දමා අයතුල්ලා කොමෙයිනි බලයට පත්වීමත් සමග ඉරානය ඉස්ලාමීය රටක් වෙද්දී මාසියාට අවුරුදු තුනයි. ඒ මොහොතේ සිට සියල්ල වෙනස් වූ බවයි ඇය දැන් කියන්නේ.
‘විප්ලවයට පෙර මගේ පවුලේ අයගේ ඡායාරූප දෙස බලන විට, මගේ මව බටහිර කාන්තාවක් ලෙසයි හැඳපැලඳ සිටියේ. මගේ පියාටත් තිබුණේ කුඩා රැවුලක් පමණයි. නමුත් කොමෙයිනි පිරිමින්ට රැවුල කැපීම තහනම් කළා. ඒ අනුව පියාගේ රැවුලත් දිගට වැවුණා. මගේ මවත් සම්පූර්ණයෙන්ම අඳුරෙන් වැසුණු ඇඳුම් අඳින්නට පටන් ගත්තා. මට විප්ලවයෙන් පසුව පෙනුණේ සෑම කෙනෙක්ම අභාග්‍යසම්පන්න, මූසල, කාලකන්නි පිරිසක් බවට පත්වී ඇති බවකුයි. ඊට කළින් සතුටින් දිලිසුණු මගේ මව ඇතුළු කාන්තාවන්ගේ මුහුණු දුක්ඛිත පෙනුමකට හැරුණා.
සැබෑව නම් මාසියාගේ මාපියනුත් මේ විප්ලවයේ කොටස්කරුවන් බවට පත්වී සිටීමයි. ‘ඔවුන් දුප්පත්. ඔවුන්ට වඩා හොඳ රැකියා අවස්ථාවන් වුවමනා කළා. විප්ලවය මේ වෙනස ඇති කරනු ඇතැයි ඔවුන් සිතුවා. ඒත් විප්ලවයට පෙර තිබුණු සමාජ නිදහස කාන්තාවට නැත්තටම නැතිවුණා. ඉරාන කාන්තාවට විප්ලවයට කළින් පිරිමින්ට වගේ සමානව විවිධ අවස්ථාවන්ට සහභාගීවීමට ඉඩ ලැබුණා. ඔවුන්ට යම්කිසි ක්‍රීඩාවක නිරතවීමට, ව්‍යායාම් කිරීමට යාමට අවස්ථාව තිබුණා. ඒත් විප්ලවයෙන් පසුව කාන්තාවට ඒ සමාජ නිදහස අහිමිවුණා.‘ මාසියා අතීතය සිහිපත් කරන්නේ දුක්මුසු අයුරින්.
අන්තිමේදී විප්ලවවාදී පවුලක උපන් මාසියා ඔවුන්ගේ විප්ලවයට එරෙහිව විප්ලවවාදිනියක් බවට පත්වුණා. අවුරුදු හතේදී හිජාබය පැලඳීම අනිවාර්ය කළ විට ඇය ඊට විරෝධය පළ කළා. විප්ලවයෙන් පසුව මුලින්ම සිද්ධ වුණේ හිජාබය හඳුන්වා දී එය අනිවාර්ය කිරීමයි. ඊට පසුව පැමිණියේ කාන්තාව පාලනය කිරීමේ ක්‍රමවේදයයි. ඉරාන විප්ලවය කාන්තාවගේ සිරුර ප්‍රාණ ඇපයට ගත් බවයි ඇයට දැනුණේ.
‘මට සිද්ධවුණු නරකම දෙය එයයි. මොකද ඒ වෙද්දි මගේ විවාහය සිදුවී තිබුණේ නෑ. ඒත් මම ගැබ්ගෙනයි සිටියේ. ඉතා භයානක ඉරණමකට මට මුහුණ පාන්න සිදුවුණා. සිරගත කිරීමෙන් පසුව මම මානසිකව කඩා වැටුණා. මම හිතුවේ මගේ ජීවිතය ඉවරයි කියලයි. තරුණ වියේ සිටි නිසා මාව හුදෙකලා කරනු ලැබුවා. නීතිඥයකුටවත් මුණ ගැසීමට අවස්ථාව ලබා දුන්නේ නෑ.
අවසානයේදී මාසියාට වසර 5ක සිර දඬුවමක් අත්විඳින්නට සිදුවුණා. ඒ වගේම කස පහරවල් 74ක් නියම වුණා. ඇගේ දඬුවම වසර තුනකට අත්හිටුවීමට විනිසුරු තීරණය කළේ ඇය තරුණ වියේ පසුවීම නිසයි. ඇය දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසුව ඇගේ සැමියා රීසා ඇගෙන් දික්කසාද වුණා.
“ඉරානයේ පිරිමින්ට තම බිරිය ඕනෑම මොහොතක දික්කසාද කරන්න පුළුවනි. ඒත් කාන්තාවට එසේ කරන්න බෑ. ඇය ඒ සඳහා සැමියාගේ අවසරය ඉල්ලා සිටිය යුතුයි. එහි නරකම ප්‍රතිඵලය වූයේ ඒ වනවිට සිව් හැවිරිදි වියේ පසුවූ අපේ පුතා පුයාන්ගේ භාරකාරත්වය සැමියාට හිමිවීමයි. ඊළඟ දශකය තුළ මට පුතා දැකීමට ලැබුණේ ඉඳහිට පමණයි.“
නමුත් දික්කසාදය ඇයට ගෙන දුන්නේ නිදහසක්. අපේ ගමේ දික්කසාද වුණු පළමු කාන්තාව මමයි‘
එය අවමානයක් බවයි ඇගේ පියාගේ අදහස වුණේ. මේ නිසා වහාම වෙනත් විවාහයක් සිදුකරගන්නා ලෙස ඔහු මාසියාට බල කළා. ඒත් ඒ යෝජනාව ඇය තරයේම ප්‍රතික්ෂේප කළා. මේ කරදරයෙන් මිදෙන්නට ඇය මාධ්‍යවේදිනියක ලෙස රැකියාවක් සොයා ගත් අතර ඊළඟ වසර කිහිපයේ දී ඇයට පාර්ලිමේන්තු වාර්තාකාරිනියක් විදියට කටයුතු කිරීමේ අවස්ථාව උදාවුණා. නමුත් එක්තරා දිනයක ඇය රතු පැහැති සපත්තු පැලඳ පාර්ලිමේන්තුවට පැමිණිම හේතුවෙන් ඇගේ අවසර පත්‍රය අවලංගු කරනු ලැබුවා.
සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කිරීමෙන් වසර කිහිපයකට පසුවු ඇය නැවතත් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවුණු නිසා ඇය එක්සත් රාජධානිය බලා පිටත්ව ගියා. ඒ වෙද්දී 33 හැවිරිදි වියේ පසුවූ මාසියා ඔක්ෆර්ඩ් බෘක්ස් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. හිජාබයට එරෙහිව ඇය නැගී සිටියේ එංගලන්තයේදියි. ඉරානයේ කාන්තා අයිතිවාසිකම් ගැනත්, හිස නිරාවරණය කරගැනීමට මුස්ලිම් කාන්තාවට අයිතියක් තිබිය යුතු බවටත් ඇය හඬක් නැගුවා. එය එරට පුවත්පත්වලත්, ගුවන් විදුලියෙත් විශාල ප්‍රචාරයක් ලැබුණු සිදුවීමක් වුණා.
වසන්තය උදාවුණු එක්තරා උදෑසනක ඇය චෙරි මල් පිරුණු එංගලන්තයේ වීදියක නිදහසේ ඇවිද ගියා. හිජාබයෙන් නිරාවරණය වූ ඇගේ රැලි ගැසුණු හිසකෙස් සුළඟට ළෙල දුන්නා. ඇය සිටියේ දැඩි සතුටකින්. මේ සියල්ල ඉරාන කාන්තාවන්ට දැකගැනීමට ඇය ඉඩ සැලසුවේ එවැනි නිදහසක් භුක්ති විඳීමට ඔවුන්ටත් අයිතිය ඇයි බවට කියා පාමිනුයි. එහෙත් එය ඉරාන රජයේ උදහසට කාරණාවක් වුණා. ඒ ඡායාරූපය ගනු ලැබුවේ ඇගේ සහකරු කම්බිස් විසිනුයි. ඔවුන් එය ඇගේ මුහුණු පොතේ පළ කළා. ඊට අසීමිත ප්‍රතිචාර ලැබී තිබුණා. හිජාබය පැලඳිය යුතුද නැද්ද…? එහි අයිතිය ඉරාන කාන්තාව සතු බවයි මාසියා කියන්නේ.
‘මම සෑම සතියකම අම්මා එක්ක දුරකතනයෙන් කතා කරනවා. අම්මා ඒ කාලයේ මට නිතරම කිව්වේ මම කරදරකාරියක් කියලයි. බියකරු හීනයක් කියලයි. මම හැම අතින්ම ඔවුන් කරදරයට පත්කළා. ඒත් මං දන්නවා අම්මා දැන් මා ගැන ආඩම්බර වෙනවා ඇති. විශේෂයෙන් තාත්තා. කොයි තරම් ප්‍රශ්න ඇති කළත් මම එයාගේ දුව කියලා එයා තවමත් හිතනවා ඇති. ඉදිරියටත් එහෙම හිතාවි. ‘ මාසියා එසේ කියන්නේ කඳුළු සඟවා ගනිමින්.
ඇය දැන් ඇගේ සහකරු කම්බිස් සමග විවාහ වී නිව්යෝක් නුවර බෘක්ලින් හී පදිංචිව සිටිනවා. ඇගේ පුතු පුයාන් දැන් 21 හැවිරිදි තරුණයෙක්. ඔහු දැන් ලන්ඩනයේ ජීවත්වන අතර සිනමා ක්ෂේත්‍රයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා. ඉරාන කාන්තාවගේ නිදහස වෙනුවෙන් කරන අරගලය නිසා ඇයට නැවත ඉරානයට යාමට නොහැකියි. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ වීසා තහනම නිසා ඇයට අමෙරිකාවෙන් පිටවීමටත් නොහැකියි. කරුණු කිහිපයක් නිසා ඇගේ පුතාටත් ඇය හමුවීමට අමෙරිකාවට පැමිණිමට අවසර නෑ. ඒත් ඉරාන කාන්තාව අරභයා මාසියා විසින් ගෙන යනු ලබන අරගලය තවමත් ඒ අයුරින්ම සිදුවෙනවා.