සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ගැමුණු සාලිය පෙරේරා .
මහජන සෞඛ්‍ය පරීක්ෂක,  දෙහිවල ගල්කිස්ස මහානගර සභාව

සීනි අනෝදා කියන්නේ එච්චර ජනප්‍රිය නැති, මිලෙනුත් අඩු පලතුරු වර්ගයක්. ඉඳුණු මේ අනෝදා වර්ගයෙන් මිහිරි පැනි රසයක් දැනෙන නිසාම “සීනි අනෝදා ” කියල තමයි කියන්නේ .

සීනි කියල කිවුවම බොහෝ දෙනෙකු බයයි. ඒ සීනි කෑවම දියවැඩියාව හැදෙන නිසා සහ දියවැඩියා රෝගීන්ගේ රෝග තත්වය නරක අතට හැරෙන නිසා.

සරල සීනි වර්ග යහමින් තිබූ පලියට යම් ආහාරයක් අනුභව කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යන්නේ නෑ. එහෙම ඉහළ නොයන්න බලපාන තව හේතු ආහාරවල තියෙනවා

ඉන් එකක් තමයි අප ගනු ලබන ආහාරයේ තියෙන කෙදි (fibers ) ප්රමාණය.  ජීර්ණයට ප්‍රතිරෝධී කෙදි සුලභ ආහාරයක් නිසා අප ගනු ලබන සරල පිෂ්ටය සහ සීනි ජීර්ණය වීම සහ අවශෝෂණය  මන්දගාමී වෙනවා. එවිට රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යන්නේ නෑ. එවැනි ආහාර වර්ගවලට කියනවා ග්ලයිසීමික් දර්ශකය අඩු සහ මධ්‍යස්ථ ආහාර කියල . සීනි අනෝදාවලත් ඉහළ තන්තු ප්‍රමාණයක් තිබෙන නිසා එය මධ්‍යස්ථ ග්ලයිසීමික් අගයක් සහිත පලතුරක්.


අප ගනු ලබන ආහාරවල තිබෙන පිෂ්ටය සහ සීනි වර්ග ජීර්ණය කර ශරීරයට උරා ගැනීම සඳහා ජීර්ණක එන්සයිම ඕන වෙනවා. පිෂ්ටය ජීර්ණය කිරීම සඳහා අපගේ අන්ත්‍ර මගින් ග්ලූකොසයිඩේස් (Glucosidases)  එන්සයිම ශ්‍රාවය කරනු ලබනවා. අප ගනු ලබන සුක්‍රෝස්, ෆෘක්ටෝස් ගැලැක්ටෝස් වගේ ඩයිසැකරයිඩවර්ගත් පිෂ්ටයෙහි අඩංගු පොලිසැකරයිඩ වර්ගත් ග්ලූකෝස් බවට පරිවර්තනය නොවී තිබෙනවානම් හෝ ග්ලුකෝස් බවට පරිවර්තනය වෙන එක මන්දගාමී කරනවානම් එය අනතුරුදායක විදියට ක්ෂණිකව ලේවල  සීනි මට්ටම   ඉහළ නගින එක සිද්ධ වෙන්නේ නෑ.

ඒ වැඩෙි කරන , එහෙම නැතිනම් කාබෝහයිඩ්‍රේට ජීර්ණක එන්සයිමවල ක්‍රියාකාරිත්වය නතර කරන, මන්දගාමී කරන ශාකමය අනුක වර්ග ඇතැම් ආහාර වර්ගවල තිබෙනවා කියල විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒවාට ග්ලූකොසයිඩේස් ඉන්හිබිටර්ස් කියල කියනවා .

මේ වැඩේ කරන බටහිර  ඖෂධ වර්ග දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කරනකොට වෛද්‍යවරු ලබා දෙනවා. එහෙම දෙන එක් ඖෂධ කාණ්ඩයක් තමයි ඇල්ෆා ග්ලූකොසයිඩේස් ඉන්හිබිටර්ස් (Alpha-glucosidase inhibitors)  කියල කියන ඖෂධ වර්ග.

උදාහරණ .

සීනි උරාගැනීම නතර කරන ශාක අනුක සහිත ජනප්‍රිය ආහාර වර්ග කිහිපයක්ම විද්‍යාඥයින් මේ වෙනකොට හදුනාගෙන තිබෙනවා .

මිදි, පෙයාර්ස්, පේර, බිම්මල්, මුහුදු එළවළු (seaweeds) ඉන් කිහිපයක්.

දැන් මේ කිවුව කාබෝහයිඩ්‍රේට් ජීර්ණය නතර කරන, මන්දගාමී කරන ශාක අනුක්‍රම   ක්‍රියාකාරිත්වය සීනි අනෝදාවලත් තියෙනවා කියල විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

 https://pubmed.ncbi.nlm.nih.gov/28821021/

ඒ නිසා පිටි සීනි කෑම ටිකක් වැඩියෙන් කෑවහම සීනි අනෝදා කෑල්ලකුත් කන්න පුලුවනිනම් හොඳයි…

පෝෂණයෙන්, ඖෂධ ගුණයෙන් බොහොම සරු කෑමක්.

සීනි අනෝදාවලට ඉංග්‍රීසියෙන් Sugar-apple (sweetsop) කියල කියනවා. විද්‍යාත්මකව  Anona squamosa L. කියල කියනවා. මේ පලතුර බොහොම ඉහළ පෝෂණ ගුණ රාශියක් තියෙන පලතුරක්.

සාමාන්‍යයෙන් පලතුරුවල ප්‍රෝටීන අඩු වුනත් සීනි අනෝදාවල තරමක  ප්‍රෝටීන ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. විටමන් බී, සී වලින් ඉතාමත් පොහොසත් වගේම, යකඩ, මැග්නීසියම් , මැංගනීස්, කැල්සියම් , සින්ක්, පොටෑසියම්වලිනුත් හොඳටම සරු පලතුරක්.

ඒ වගේම ප්‍රතිඔක්සිකාරක,  ප්‍රතිපිලිකා  ගුණ , සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ස්වශන පද්ධතිය  ශක්තිමත් කරන, ස්නායු ක්‍රියාකාරිත්වය දියුණු කරන මොළයට බොහොම හිතකර , අක්මාවේ ක්‍රියාකාරිත්වය දියුණු කරන,  පෝෂ්‍යපදාර්ථ අවශෝෂණය සක්‍රීය කරන  ආහාරයක් බව විද්‍යාත්මක   අධ්‍යනවලින් හෙළිවෙලා  තිබෙනවා.

https://ijpsr.com/

තවද, සීනි අනෝදා හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන හදවතේ සුව පැවැත්ම තහවුරු කරන  ඖෂධ ගුණ බොහෙම තියෙන පලතුරක් බව විද්‍යාත්මක තතු විත්තිවලට අනුව පැහැදිලි වෙනවා.

 https://pubmed.ncbi.nlm.nih.gov/16230844/

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

Exit mobile version