රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයක තිබෙද්දි පුද්ගලික රෝහල් නියාමනය දැඩි කරන්න බෑ!

සාකච්ඡා කළේ  – ශ්‍රියානි විජේසිංහ 

පෞද්ගලික රෝහල් නියාමනය සම්බන්ධව මේ වනවිට බරපතල විසංවාදයක් ඇති වී තිබේ.  අතාර්කික මරණ, අධික රෝහල් ගාස්තු, සේවාවල ගුණාත්මක භාවය පිළිබඳ අර්බුදය මේ අතර ප්‍රමුඛ වේ.  මේ  පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සමග කළ සාකච්ඡාවකි.

විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය

ප්‍රශ්නය – වත්තල ප්‍රදේශයේ  පෞද්ගලික රෝහලක් තුළ සිදු වූ  තරුණියගේ හදිසි මරණයත් සමග  පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධවත් ප්‍රශ්නයක් මතුවුනා.  මේ නියාමන වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය කුමක් ද?  

පිළිතුර –  මේ මොහොත වන විට රටේ පවතින ආර්ථික අර්බුදය ඖෂධ හිඟකම ආදි හේතු  මත අපි පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන්  දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න බලාපොපොරොත්තු වෙන්‌නේ නැහැ. මොකද මේ අවස්ථාවේ රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් හෝ අවශ්‍ය ප්‍රතිකාර  ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. කෙසේ නමුත්  ඉදිරියේදී රෝගීන්ටවන අසාධාරණකම් නොසැලකිලිමත්කම්  සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. 

ප්‍රශ්නය – මේ වන විට පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදුණ වෛද්‍යවරුන් 20දෙනෙකු සම්බන්ධයෙන් විර්ශනය කරමින් සිටිනවා. මේ විමර්ශන  කටයුතු සම්බන්ධයෙන් යමක් කීවොත්?

පිළිතුර – මේ අය සම්බන්ධ‌‌යෙන්  දැනටමත් විමර්ශන කරමින් පවතිනවා. මෙම විමර්ශනවලදී මොවුන් වරදකරුවන් කියලා සනාථ වුණොත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මෙන්ම අදාල වෛද්‍ය ආයතනයන් සම්බන්ධයෙන් ද දැඩි   තීන්දු තීරණ ගන්නවා. 


ප්‍රශ්නය – මෙම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ පෞද්ගලික අංශයේ නම් ගනු ලබන ක්‍රියාමාර්ගයන් වෙනස්ද?

පිළිතුර -සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් වරදක් කර ඇත්නම්  අපිට ක්‍රියාත්මක වීම පහසුයි. නමුත් විශ්වවිද්‍යාලවල සිටින සහ  පෞද්ගලික අංශයේ සිටින වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අපහසුයි.මේ අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයන් ගැනීමට හැකියාවක් නැහැ.

ප්‍රශ්නය  – මේ අය සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට හැක්කේ කාටද?

පිළිතුර – මේ අය සම්බන්ධයෙන් අධිකරණය මගින් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා.

ප්‍රශ්නය – මේ වන විට පෞද්ගලික රෝහල් ගාස්තු විශාල වශයෙන් ඉහළ යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කිසියම් සොයාබැලිම් කරනවාද?

පිළිතුර – මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයා පවා සඳහන් කළා. මේ වෙලාවේ ඩොලරය ඉහළ යාමත් සමග ඖෂධ , උපකරණ සහ ශල්‍ය උපකරණ   මිල ඉහළ යාම හේතුවෙන් කිසියම් සහනයක් අපිට ලබා දෙන්න වෙනවා. මේ වන විට මේ අයට කොයිතරම් ප්‍රමාණයකින්ද මිල වැඩිකිරීමට  අවසර ලබා දිය යුතුද යන්න පිලිබඳව සොයා බලමින් සිටිනවා .

ප්‍රශ්නය – කලින් වේලාවක් වෙන් කර ගනිමින් වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට යන රෝගීන්ට වෛද්‍යවරයා එනතෙක්  පැය ගණන බලාසිටීමට සිදුවෙන අවස්ථාවන් තිබෙනවා. මේ තත්ත්වය වලක්වා ගැනීම සඳහා කිසියම් වැඩපිලිවෙලක්   සකස් කර තිබෙනවාද?

පිළිතුර – ප්‍රතිකාර සඳහා යන රෝගීන්ට මේ ආකාරයට පැය ගණන් බලා සිටීමට සිදුවන බවට අපට පැමිණිලි ලැබෙමින් පවතිනවා. මේ ගැන සොයා බැලීම දැනටමත් ආරම්භ කරලා තියෙනවා. රෝගියාගේ අයිතිය ආරක්ෂා කිරීමට වෛද්‍යවරුන් වගබලා ගත යුතු වෙනවා. වෛද්‍යවරයා චැනල් කරලා නම් අන්තිම රෝගියා වෙනකල් වෛද්‍යවරයා විසින් පරික්ෂා කළ යුතු වෙනවා. අපට පැමිණිලි ලැබිලා තියෙනවා වෛද්‍යවරු ප්‍රමාද වී පැමිණිලා අවසාන රෝගියාව පරික්ෂා නොකර යන අවස්ථාවන් තිබන බව.  මේ සම්බන්ධයෙන් දැනටමත් පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා.

ප්‍රශ්නය  – රෝගියෙකුට වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී රෝගියාට සාධාරණය ඉටු කිරීම සම්බන්ධයෙන්  කළ හැක්කේ කුමක්ද?

පිළිතරු – මුලින්ම රෝගියා සෞඛ්‍ය අමාත්‍යංශයට  පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුව වෛද්‍යවරයා එම රෝගියාට ප්‍රතිකාර කිරීම හෝ පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළේ කුමන පදනමකින්ද යන යන සොයා බලනවා. වෛද්‍යවරයෙකුට ආචාරධර්මවලට පිටින් වැඩ කරන්න පුලුවන්කමක් නැහැ. එහෙම කළොත් ඒ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනුම් දීලා ඔහුගේ ලියාපදිංචිය පවා අහෝසි කිරීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය – මේ වන විට රෝගීන්ගේ පැමිණිලි අනුව වෛද්‍යවරුන්ට මොනවගේ  දඬුවම්ද නියම කරලා තියෙන්නේ? 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර – රෝගීන්ගෙන් අපට ලැබෙන පැමිණිලි ඉතාමත් අල්පයි. අපිට ලැබෙන පැමිණිලි විමර්ශනය කරලා මේ වන විට රාජකාරී වේලාව තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ඉවත් කිරීම් අඩුකිරීම් වගේ දඩුවම් කරලා තියෙනවා.‍

 

Exit mobile version