රටේ  සියයට 20කට දෙන්න හදන කොවිඩ් එන්නතේ ඇත්තම කතාව ..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ...

චාමින්ද වාරියගොඩ –

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත
වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසරට කළ විශේෂ පැහැදිලි කිරීමකි.

කොවිඩ් සඳහා වන එන්නත ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් සියයට 20කට ලබා දීම පිළිබඳ ව පසුගියදා සාකච්ඡාවක් ඇති වුණි. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චිත්  රාජ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමනත් ඇතුළු සෞඛ්‍ය බලධාරීනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයනුත් ඊට සහභාගී වූහ. මේ පුවත ප්‍රචාරය වීමත් සමඟ මේ රටේ ජනතතාවත් යම් තරමක හෝ අස්වැසිල්ලක් ලැබුවාට සැකයක් නැත. මුල් අවස්ථාවේ සියයට 20ක් වුණාට පසුව රටේ ජනගහණනේ සියයට සියයක්ම කොරෝනාවලින් බේරන එන්නත ළඟදීම  එනු ඇතිය යන සුබවාදී අපේක්ෂාව සමගිනි.

මේ කියන එන්නත එන්නේ කවදාද කාටද යන්න පිළිබඳව ඒ අනුව රටේ ජනතාව තුළ කතා බහක් ඇති වුණි. මේ නිසාම ලංකාසර අපි මෙම එන්නත් පිළිබඳ මූලික සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ගෙන් විමසීමු.

අප විසින් යොමු කරන ලද  ප්‍රශ්නයට ඇයගේ පැහැදිලි කිරීම මෙසේය.


සැබැවින්ම මේ එන්නත් කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කරන්න අමාරුයි. ඒකට හේතුව මේ වනවිට ලෝකයේ කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත් 200ක් පමණ නිපදවා තිබෙනවා. මේ තරම් විශාල එන්නත් ගණනක් නිපදවීමට හේතුව මෙය එක රටකට දෙකකට විතරක් බලපෑ දෙයක් නොව ගෝලීය වසංගතයක් බවට පත්වීමයි. මේ නිසා ඇතැම් වෛද්‍ය පර්යේෂණාගාර, ඖෂධ නිෂ්පාදන සමාගම් , විශ්ව විද්‍යාල වගේ ආයතන සියල්ලම මෙම වයිරස වසංගතය මෙල්ල කිරීමේ එන්නතක් පිළිබඳව පර්යේෂණ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට එන්නත් 200ක් පමණ නිපදවා තිබෙනවා. මේ එන්නත් සියල්ලම  පමණ පර්යේෂණ මට්ටමේ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා.

මේ අතරින් එන්නත් 47ක් මේ වනවිටත්  මිනිසුන් ඇසුරේ අත්හදා බැලීම්වලට යොමු කොට තිබෙනවා. එයින් තෝරා ගත් 10ක් මේ වනවිට තුන්වැනි අදියරේ අත්හදාබැලීම්වලට යොමු කර තිබෙනවා. මේ අදියරේ විශාල ජන මූහයකට මෙම එන්නත් ලබාදීමෙන් පසුව එහි ගුණ අගුණ පිළිබඳව නිසි විද්‍යාත්මක පසුබිමක් යටතේ නිරීක්ෂණය කරනවා. එය මහා පරිමාණයෙන් විශාල ජන සමූහයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් පර්යේෂණයක්.   ඉහත කී එන්නත් 10න් ඇතැම් එන්නත් සඳහා මෙම තැන්වැනි අදියරේ අත්හදාබැලීම් පසුගිය ජූලි මාසයේදී ආරම්භ වුණා. මෙම අත්හදා බැලීම්වල  ප්‍රතිඵල මෙම මාසයේ අග භාගයේදී සිට එළි දැක්වෙනවා.

මෙම අත්හදා බැලීම් ප්‍රතිඵල ඊළඟට ඖෂධ නියාමනය පිළිබඳ විශේෂඥයින්, ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥයින්  ඇතුළු අදාළ ආයතන මඟින් ඇගයීමට ලක් කොට නිර්දේශ කළ යුතුයි.  විශේෂයෙන් මෙම එන්නත්වල පවතින ආරක්ෂිත භාවය, ඒවායේ සාර්ථකත්වය ඇතිවිය හැකි අතුරුඵල ආදි සියල්ල පිළිබඳ පුළුල් ඇගයීමකට ලක් වනු ඇති. මෙම ඇගයීම් සඳහා ද සාධාරණ කාලයක් ලබා ගැනීමට සිදුවන අතර එයින් පසුව නිෂ්පාදකයන්ට මෙම  ඒවා වානිජ මට්ටමින් නිෂ්පාදනය කිරීම සඳහා අවසරය හිමිවෙනවා.

2020 අගෝස්තු 6 වන දින ගන්නා ලද ඡයා රූපයකි. පින්තූරයේ දැක්වෙන්නේ රුසියානු අරමුදල් වලින් Gamaleya වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ් වෛරසයට එරෙහි එන්නතයි. (AFP)

මේ සඳහා ගත වන කාලය පිළිබඳව සැලකීමේදී දැනට කොවිඩ් 19ට එරෙහිව එන පළමු එන්නත් තොගය අප අතරට පැමිණීමට 2021 වසර මැද පමණ වන තෙක් සිටින්නට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

කෙසේ වුවද මෙම එන්නත් වැඩි දියුණු කරන පර්යේෂකයන් සේම ලෝක සෞඛ්‍ය සංවිධානයද බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ ලබන වසරේ පළමු කාර්තුව වනවිට මෙම එන්නත්වලින් සීමා සහිත ප්‍රමාණයක් හෝ ලෝක ජනතාව වෙත එනම් විශේෂයෙන් අවදානම් සහගත කණ්ඩායම් වෙත ලබා දීමට පියවර ගත හැකි බවයි. නමුත් අපට මේ පිළිබඳව තවමත් නිශ්චිතවම කියන්න අමාරුයි.

ශ්‍රි ලංකාවට පැමිණෙන මුල්ම එන්නත් තොගය සඳහා ප්‍රමුඛතාව ලැබෙන්නේ සෞඛ්‍ය සේවයේ නිරත අවදානම් සහගත කණ්ඩායමට සහ වයස්ගත පුද්ගලයන්ටයි. එය දැනට ලෝක සෞක්‍ය සංවිධානය විසින් හඳුනා ගනු ලැබ ඇති  ප්‍රමුඛතා පිළිවෙළයි.

මේ වනවිට මෙම වෛරසය වසංගතය දේශ සීමාවක්, දේශගුණික කලාපයක් නැතිව සෑම රටකම පාහේ පැතිරිලා. ලෝක  සෞඛ්‍ය සංවිධානය මෙවැනි එන්නත් සාධාරණ ලෙස ලෝකය හමුවේ බෙදා ගැනීම සඳහා යම් ක්‍රියා රාමුවක් සකසා තිබෙනවා.  ඒ අනුවයි එහි පළමු අදියරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන්නේ ලෝකයේ  සෑම රටකම ජනගහණයෙන් සියයට 20කට මෙම එන්නත් මාත්‍රාව ලැබෙන බවට සහතික වීමට. එහිදී මුලින් කීව වගේ වැඩිහිටි සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කියන අවදානම් කණ්ඩායම් දෙකට ප්‍රමුඛතාව ලැබෙනවා.

දෙවැනි අදියර්දී මෙසේ සෑම රටකම සෙසු ජන කොටස් වෙත ලබා දීම අරමුණුයි. නමුත් එතැනදී එක් එක් රටකට වෙන් වන එන්නත් ප්‍රමාණය තීරණය වන්නේ ඒ ඒ රටේ සහ එහි යම් යම් ප්‍රදේශ හෝ ජන කොටස් අතර පවතින කොවිඩ් අවදානමේ තරමයි. අවදානම වැඩි නම් වැඩි රෝගීන් ප්‍රමානයක් සිටින පැතිරීම වේගවත් ප්‍රජාවන්ට වැඩි ප්‍රමුඛතාවක් හිමි වේවි.

 මෙම අර්බුදයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මුළු ලෝකයම අත්වැල් බැඳගෙන සිටිනවා. අලුත් එන්නතක් වෙනුවෙන් ඇති හැකි රටවල් තම මුදල් වියදම් කිරීමට ඉදිරිපත් වී සිටිනවා. මෙහිදී තීරණාත්මක කාර්ය භාරයක්  බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් 2000 වසරේදී ඔවුන්ගේ අනුග්‍රාහකත්වයෙන් බිහි කරන ලද ගැවි එලයන්ස් (Gavi Alliance) නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදු කරනවා. එහි මූලික අරමුණ වී ඇත්තේද දිළිඳු රටවල ජනතාවට පහසුවෙන් එන්නත්කරණය කිරීමට අදාල පහසුකම් සම්පාදනය කිරීමයි.

මෙම සංවිධානය යටතේ පිහිටුවා තිබෙන Covax නම් එකමුතුව මූලික වශයෙන් කොවිඩ් සඳහා සාර්ථක එන්නතක් වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. එම රටවල්වල එකමුතුවක් මේ වනවිට මේ Covax සමූහයේ  ලෝකයේ රටවල් 186ක් කොවිඩ් මර්ධනය කළ හැකි එන්නතක් වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කැප කිරීමට ඉදිරිපත්ව සිටිනවා. ඒ අතර ධනවත් විය පැහැදම් කිරීමේ හැකියාවෙන් යුතු ඉහළ ආදායම් ලබන රටවල් 94ක් සහ පහළ අදායම් ලබන රටවල් 92ක් සම්බන්ධ වී සිටිනවා. ශ්‍රි ලංකාවද මෙම රටවල් 186ට අයත්.  ශ්‍රි ලංකාව අඩු අදායම් ලාභී රටවල් 92ට ඇතුළත් වන අතර ශ්‍රි ලංකාව  වර්ගීකරණය වී ඇත්තේ එන එන්නත මෙරට ජනතාව වෙනුවෙන් මිල දී ගත හැකි මට්ටමේ රටවල් ලෙසයි. මෙයින් ඉහළ ආදායම් ලබන රටවල් විවිධ මට්ටමින් මෙම එන්නත් නිපදවීම වෙනුවෙන්  ඒ සඳහා වියදම් කරෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙම එන්නත් පැමිණෙද්දී ඒවා නිසි ලෙස කළමනාකරණය කොට මූලික අදියරේදී මෙන්ම දෙවැනි අදියරේදී අදාළ ජනකොටස් වෙත බෙදා හැරීමට සම්බන්ධ නිසි යාන්ත්‍රණයක් සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබිය යුතුයි. ඒ සඳහා විශේෂඥයින් මෙරට සිටිනවා.

කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් සඳහා පර්යේෂණ පවත්වන චීනයේ Shenyang හි පර්යේෂණ කණ්ඩායමක්.. AFP

ඔව්. අනිවාර්යයෙන්ම. එන්නත් තවම තිබෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඒවායේ සාර්ථක අසාර්ථක බව මත මේ කාලය එහා මෙහා වෙන්න පුළුවන්. අප අපේක්ෂා කළ කාලයට වඩා කාලයක් ගත වෙන්නත් පුළුවන්. මොකද තවමත් මේ පර්යේෂණ අවසන් නැති නිසා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසයි  ලෝක සෞඛ්‍ය සංවිධානය යළි යළිත් රටවල්වල පාලනයටත් ජනතාවටත් අවධාරණය කරන්නේ දැනට මේ රෝගය පැතිරෙන්නට තිබෙන ඉඩකඩ අවුරා ලීමට හැමෝගේම කැපවීම අවශ්‍යයි කියල. අප දැනට අනුගමනය කරන රෝග පාලන ක්‍රමවේද ඒ අයුරින්ම අනුගමනය කළ යුතුයි. දැඩි විනයකින් වගකීමකින් කටයුතු කළ යුතුයි. එන්නතක් ඒවි යන බලාපොරොත්තුව මේ වැඩපිළිවෙළ ලිහිල් කළොත් එන්නත් එන විට වෙන්න තියෙන දේ අවසන් වී තිබෙන්න පුළුවන්.

Exit mobile version