බංකොලොත් රටේ බඩගින්නේ හඬන නොදරුවන්ට “පෝෂ“ ලේබලයෙන් වහ කවන හැටි!

එක එක නමින් එන "පෝෂ" වර්ග කන එක ටික දවසකට නවත්තන්න.  

මහාචාර්‍ය නිලන්ත ලියනගේ –
ආහාර විද්‍යා අධ්‍යයන අංශය, රුහුණු විශ්වවිද්‍යාලය

මම ආහාර විද්‍යාව සම්බන්ධ මහාචාර්‍ය වරයෙක්.  සෑම අලුත් කණ්ඩායමකම ආරම්භයේදී මම ඔවුන්ට කියන දෙයක් තමයි ආහාර විද්‍යාව ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට සමාජීය වගකීමක් තියෙනවා අවදානමක් දුටු සැනින් තරාතිරම නොබලා ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මම උගන්නපු ළමයි බොහෝ තැන්වල එම වගකීම පෙරට ගෙන කටයුතු කරනවා ඇතැයි මම විශ්වාස කරනවා.

විශ්ව විද්‍යාලයේ දරුවන්ට අමතරව ආහාර විද්‍යාව සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ශක (PHI)  පැටවුන්ටත් මම උගන්වනවා.  ඒ නිසා අවදානමක් දුටු තැන රටේ පුරවැසියා වෙනුවෙන්, මම මගේ වෘතීය මෙන්ම සමාජීය වගකීම  ඉටුකරනවා.

බංකොලෝත රටක ආහාර


අපි දන්නවා රටක් ආර්ථිකව බංකොලොත් වෙනකොට සහනාධාර විදියට පවා අපිට ලැබෙන්නේ හිතකර දේවල්ම නෙමෙයි. ලෝකය ඒතරම්  අකාරුණිකයි. ඒ අස්සේ  අපිට රිංගවන බාල ආනයනික යෙදවුම් අනන්තයි. මොකද ඒවා විශ්ලේෂණය කිරීම  ආර්ථිකව බංකොලොත් වූ රටක ප්‍රමුඛතා ලැයිස්තුවේ නෑ. ඒ නිසා ලේසියෙන්ම ආහාර නිශ්පාදන ආයතන වලට එම බාල යෙදවුම් බාගත හැකියි.    ඕන ජරාවක් ලේසියෙන් එවන් රටකට විකුණාගත හැකියි.

“පෝෂ“ වල අධිමාත්‍රාවෙන් ඇෆ්ලටොක්සීන්…

මාතෘකාවට  එමු. කාලයක්  පොල්තෙල් ගැන කතාකරපු ඇෆ්ලටොක්සින් ගැන අද කතාකරන්නේ ඔබ, අපි, අපේ දරුවන්, සහ ගැබිනි මව්වරුන්ට නිර්දේශ කරදෙන සහ වෙළඳපොලේ තියෙන “පෝෂ” වර්ගවල අන්තර්ගත ඇෆ්ලටොක්සීන් මාත්‍රාව නියමිත මාත්‍රාව අභිබවා ඇතිබව ඔබට කීමටයි.  එනිසා එය ඔබගේ අවධානයට යොමුකිරීම මාගේ වගකීමක් ලෙස දකිනවා. මේ සම්බන්ධ පර්යේෂණ වාර්තාව මා සතුව තිබෙනවා. එබැවින් ඇෆ්ලාටොක්සීන් ගැන යළි සංවාදයක් ඇති කරන්නේ දැනුවත් වගකීමකින්.

ඇෆ්ලටොක්සීන්….

මොනවද මේ ඇෆ්ලටොක්සීන්?

 

ඇෆ්ලටොක්සීන් යනු සරළවම ඇස්පර්ජිලස් කියන පුස් වර්ගය (A.flavous, A.parasiticus) ආසාදනය වූ ආහාර ද්‍රව්‍ය  තුළ වර්ධනය වී ඇති මාරාන්තික විෂ රසායනිකයක්.

මේවා ආකාර 20ක් විතර තිබුනත්  ප්‍රධාන ආකාර 4ක්  ගැන අපි නිරතුරුව අවධානය යොමු කරනවා. එනම්  AF-B1, AF-B2, AF-G1 සහ AF-G2. මේකෙනුත් B1 තමයි ඉතාම භයානක.

මේවා තියෙන්න පුලුවන් ආහාර මොනවාද?

පුස්කාපු ඕනෑම ආහාරයක මෙම විෂ රසායනිකය හැදිලා තියෙන්න පුළුවන්. පුස්කාපු බඩ ඉරිඟු, හාල්, රටකජු, අක්‍රමවත්ව වියලන ලද ආහාර, වියලි මිරිස්, තුනපහ, කොකෝවා, පුස්කාපු කොප්පරා   වැනි ආහාර ද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තියෙනවා.

ඇෆ්ලාටොක්සීන් සහිත ආහාර..

මේවා තියෙන ආහාර කෑවොත් මොකද වෙන්නේ??

වෙන්නෙද? වෙන්නේ, මේ විෂ රසායනිකය ටික ටික ඇඟ ඇතුලේ විශේෂයෙන්ම අක්මාවේ තැන්පත් වීමෙන් aflatoxicosis තත්වයට ලඟාවී, අක්මාව ආශ්‍රිත පිළිකා සහ සිරෝසිස් තත්වයට පත්වී ආසාදිතයා මිය යාමයි. මීට හේතුව ඇෆ්ලටොක්සීන් යනු ජාන විකෘති තත්වය ඇතිකළ හැකි( Genotoxic) උග්‍ර විෂ රසායනිකයක් වීමයි. මේකට කියනවා Hepatocellular Carcinoma කියල.

හරි… එතකොට මේකට බෙහෙත් නැත්ද?

නෑ.. බෙහෙත් නෑ. (There is no antidote for Aflatoxin) කළ හැකි එකම දේ රෝග ලක්ෂණ පෙන්වන මුල් අවධියේදීම ඇෆ්ලටොක්සීන් තියෙන බව සැක සහිත ආහාර නොගෙන ඉඳීමයි.

එතකොට රත්කරනකොට මේ විෂ  ව්නාශ වෙන්නේ නැති ද?

සාමාන්‍යයෙන් මෙම රසායනිකය තාපයෙන් විනාශ වෙන්නේ නෑ ලේසියෙන්.  සෙන්ටිග්‍රේට් අංශක 180 දක්වා මේවා ස්ථායි.  ඒ නිසා සකස්කළ ආහාරවල මෙම විෂ රසායනිකය නොනැසී පවතිනවා.

එතකොට මේවා කාපු සත්තුන්ගේ කිරි, මස්, බිත්තර වල මේවා තියෙන්න පුලුවන්ද?

පුලුවන්. ඒ පෙරකී ආකාර හතරට නොවූවත්, සත්තුන්ගේ පරිවෘතියෙන් පස්සේ හැදෙන AF-M1, M2 (they are metabolites of AF-B1 and AF-B2)  කිරිවල, මස්වල තිබී අපේ ආහාරදාමයට එකතුවෙනවා.

දැන් මොකද මේ හදිස්සියේම මේ ගැන කතාකරන්නේ?

මේ ගැන විතරක් නෙමෙයි, ආහාර නිසා ඇතිවන බොහෝ දේවල් ගැන කතාකරන්න ඉඩක් හොය හොය ඉන්නේ. මොකද බෝ නොවන රෝග ගැන බොහෝ අය කතාකළාට ඒකට විසඳුම තියෙන්නෙත් ආහාර පාලන අධිකාරිය අතම බව   කියන්නම ඕන.

මේ රටට ආනයනය කරන දේවල් වගේම මේ රටේ නිශ්පාදනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සහ තත්ව පාලනය සම්බන්ධ නිර්දේශ නිකුත් කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමටත් යාන්ත්‍රණයක් මේ රටේ තිබුනත්, ක්‍රියාත්මක නොවීමට සහ ඊට උවමනාවක් තිබේද යන්න ලොකුම ගැටලුවක්. වැටුප් ලබන ආයතන මෙන්ම ඒවායේ බලලත් නිළධාරීන් සිටියත් නියම හේතුවට  අත නොතබා ප්‍රශ්නය වටේ අතපතගෑම දේශපාලන අධිකාරියට හෝ වරදකාරී ආයතනවල මාෆියාවට බයෙන් හෙලිකිරීමට කොන්දක් නොතිබීම මීට ප්‍රධාන හේතුව බව මා දකිනවා.

මේ ස්වාධිනව තීරණ ගැනීමට ඇති බිය සහ වෘතීය ඒකාග්‍රතාවක් (Professional integrity) නොමැතිවීම නිසා පමාවන හැම තප්පරයකම, ඔබද, මාද, මගේ දරුවාද මරණය කරා වේගයෙන් ඇදීයමින් ඉන්නවා.

එනිසා පර්යේෂණ වාර්තා අත තිබියදීත් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට පමාකිරීම  හිතාමතා මිනීමැරීමක් බව කියන්නම ඕන.

පෝෂ වහ වන හැටි

ඒ නිසා සියලුම පෝෂ වර්ගවල ඇෆ්ලටොක්සීන් B1(විශම එක) අධිමාත්‍රාවෙන් ඇතිබව ඔවුන්ද මාද  එය දන්නා බව ඔබට කියන්න අවශ්‍යයයි. මම මගේ වගකීම මේ පෝස්ටුවෙන් නතර නොවන බවද කිව යුතුයි..

තව දුරටත් ඔවුන්ට විෂ චූට්ටක් තිබ්බට   කමක් නෑ වුනාට ( ලංකාවේ 30 PPB) එහි අනුමට මාත්‍රාව ඇමෙරිකාවේ නම් 20 PPB තරම් අඩුකොට ඇති මොහොතක,  එය ලංකාවේ 20 PPB මට්ටමට ගෙනඒමට මැලිවන්නේ ආහාර ආනයන කරුවන්ගේ බලපෑම නිසාදැයි ඇසිය යුතුයි.

අපිට කතාකරන්න බොහෝ දේ  තිබෙනවා. සිස්ටම් එක චේන්ජ් කිරීම  වගකිවයුතු නිලධාරීන් කොනිත්තලාම පටන්ගමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(මුහුණුපොතෙන් උපුටා ගැනුණි)

Exit mobile version