ගමෙන් තුනෙන් දෙකක් වකුගඩු ලෙඩ්ඩු… මරණයේ හෙවනැල්ලෙන් අඳුරු වුනු විල්ගමුවේ කතාව !

විල්ගමුවේ වැසියෝ ජලය රැස්කරන හැටි

ශ්‍රි ලංකාවෙ දුෂ්කරතම ගම්මාන ලැයිස්තුවේ කැපී පෙනෙන අර්බුද ඇති ප්‍රදේශයකි විල්ගමුව. පවුල් එක්දහස් හත්සිය යකට ආසන්න පිරිසක් පදිංචිව සිටින මෙහි හඳුනා නොගත් වකුගඩු රෝගීන් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාව එක්දහස් අනූ හතකි. මධ්‍යම පළාතේ ප්‍රදේශ අතුරින් වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වෙසෙන එකම ප්‍රදේශය  විල්ගමුවය.

වකුගඩු රෝගය කොටස් දෙකකි. එකක්  නිදන්ගත රෝග තත්ත්වයන් සහ හදිසි රෝග (සර්ප දෂ්ඨණ)  මත ඇති වන වකුගඩු රෝගය. නිදන්ගත වකුගඩු රෝගයක්වන හඳුනා නොගත් වකුගඩු රෝග හේතු මේ වනතුරුත් විද්‍යාත්මකව තහවුරු වී නොමැත. හඳුනා නොගත් වකුගඩු රෝගයේ භයානක බව රැඳෙන්නේ රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාම සහ එම රෝගීන්ගේ රෝග තත්ත්වය වසර ගණනාවක් තුළ ක්‍රමයෙන් උත්සන්න වී ඩයලිසිස් ප්‍රතිකාර නොලැබුනහොත් මිය යා හැකි තත්වයට පත්වීමය.

රොගය පැතිර යන්නේ කුමන සාධකයක් මත ද යන්න සොයා බැලීම සෞඛ්‍ය අංශයන්හි ජාතික මට්ටමේ වගකීමකි. රෝගය පාලනය කර ගැනීම සඳහාවන විසදුම් කරා යාමට  රෝගීන්ට ඇති අපහසුතා මගහරවා පහසුකම් සලසා දීමට මග සැලසීම පළාත් සහ ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවල වගකීමකි.

වතුර පොදක්..

මාතලේ දිස්ත්‍රික්කයේ , විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් ප්‍රමාණය පහුගිය කාලය පුරාවටම වැඩිවන බව සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මහනුවර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාරය.


විල්ගමුවේ ඛේදවාචකය

ඔහු පවසන පරිදි විල්ගමුවේ වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ක්ෂේත්‍ර සායන පැවැත්වූයේ 2009 වසරේදීය. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මැදිහත්ව පරීක්ෂණ පවත්වා රෝගීන් හඳුනා ගත් අතර මේ වන විට එම රෝගීන් සංඛ්‍යාත්මකව එක් දහස් පන්සීයක ට අධිකය.    විල්ගමුව ප්‍රාදේශීකයේ වකුගඩු රෝග සායනයක් පැවැත්වුවද එම රෝගීන්ගේ රෝග ස්වභාවය අනුව රෝගීන් වර්ගීකරණය කොට රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා වන රෝගීන්  සහ නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට යොමු කළ යුතු රෝගීන් දඹුල්ලට සහ මහියංගණයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

සෞඛ්‍ය අංශයන්හි එම සැලසුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් විල්ගමුවේ රෝගීන්ට මහියංගනයට සහ දඹුල්ලට යාමට ප්‍රවාහන පහසුකම් තිබිය යුතුය. තවද රෝගයේ ඇති බරපතලකම සහ ඊට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු අන්දම පිළිබඳව විල්ගමුවේ ජනතාවට පැහැදිලි ලෙස කරුණු දැක්වීමට අයෙකු සිටිය යුතුය. හඳුනා නොගත් වකුගඩු රෝගී තත්ත්වයක් බැවින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගත යුතු අන්දම පිළිබඳ ඔවුන්ට පැහැදිලිව කියා දිය යුතුය. රුධිර පරීක්ෂණයක් කර ගැනීමේ ඇති වැදගත්කම සහ කලට වේලාවට නිසි ලෙස ඖෂධ ලබාගත යුත්තේ ඇයිද යන්න විල්ගමු වැසියන්ට කරුණු අවබෝධ කර දිය යුතුය.

නමුත් 2009 වසරේ සිට මේ දක්වා එවන් පැහැදිලි වැඩපිළිවෙලක් විල්ගමුවේ ක්‍රියාත්මක වී නැත. එහි ප්‍රතිඵල ලෙස ෆාතිමා ගේ මෙන් ම තවත් දූ දරුවන්ගේ මවුපියන් හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් මෙලොව හැරදමා ගිය අවස්ථාවන් සාක්ෂි දරයි. දෙදහස් නවයේ සිට මේ දක්වා එලෙස මෙලොව හැරදමා ගොස් ඇති විල්ගමුවේ මිනිස් ජීවිත ගණන දොළහකි.

විල්ගමුවේ වකුගඩු ලෙඩ්ඩු

විල්ගමුව ප්‍රාදේශිකයේ ගම්මාන වල වෙසෙන මිනිසුන් වකුගඩු රෝගීන් ද යන්න  පරීක්ෂණයකට ලක් වන්නේ වසර තුනකට වරකි. එයට අමතරව මසකට රෝගීන් දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් නව රෝගීන් ලෙස හඳුනාගන්නා බව විශේෂඥ  වෛද්‍ය නිශාන්ත නානායක්කාර   කියා සිටියේය. මේ වන විට විල්ගමු වැසියන්ට රුධිර පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා ඖෂධ ලබාගැනීම සඳහාත් රජයේ රෝහල්වලට අමතරව පුද්ගලික අංශයේ සේවා ව්‍යාප්ත කොට ඇති බවද පෙනෙන්නට තිබේ.

එහෙත් පුද්ගලික අංශයන්ගෙන් සේවාව ලබා ගැනීම සඳහා මෙම ගොවි පවුල්වල ජනතාවට ආර්ථික හැකියාවක් නැත. එහෙයින් සිදුවන්නේ රෝගීන් තම රෝගය පිළිබඳ නොසලකා හැරීමය.

මේ මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම ඇත්තේ මේ රට පාලනය කරන බලධාරීන් අතය. රාජ්‍ය නිලධාරීන් අතය. සෞඛ්‍ය අංශ මතය. එහෙත් මධ්‍යම රජයෙන් බෙදී යන පහසුකම් පළාත් මට්ටමෙන් ප්‍රාදේශීය ව නිසි ලෙස බෙදී නොයෑමේ ව්‍යාකූලත්වය මත විල්ගමුවේ වැසියෝ ජීවිතයත් මරණයත් අතර අදටත් සටන් වදිති.

විල්ගමුවේ ප්‍රාදේශීය ලේකම්වරයා වන තුසිත උදේශ දිසානායක   පවසන පරිදි මේ මිනිසුන් වෙනුවෙන් රජය මාසිකව රුපියල් 5000 ක මුදලක් බෙදා දෙනු ලබයි. ඉන් අමතරව අයවැය ගැටලු නැති කලට බීමට ජලය බවුසර් මගින් බෙදා හරියි.

විල්ගමුවේ වකුගඩු ලෙඩේ ගැන සිදුකළ පරීක්ෂණ

විල්ගමුව   කේන්ද්‍ර කරගනිමින් එහි රෝගීන් ගේ වෛද්‍ය වාර්තා ප්‍රතිකාර ලබා ගන්නා පිළිවෙළ ඊට ඇතුළත් වන සෙසු සාධක පිළිබඳව  පාදක කරගනිමින්  විශේෂඥ වෛද්‍ය  වසංගත වේදඥ පසන් ජයසිංහ  පර්යේෂණ වාර්තාවක් සකස් කොට තිබුණි.

ඊට අදාලව  එහි සනාථ වී ඇති පරිදි විල්ගමුවේ වෙසෙන පිරිසෙන් සියයට හැත්තෑ අටක්ම දරිද්‍රතාවයෙන් පෙළෙති. තවද  එම රෝගීන් අතරින් සියයට හැටක් පිරිමි පුද්ගලයින් බව ද වෛද්‍යවරයාගේ පර්යේෂණයෙන් සනාථ වී තිබේ. සියලු රෝගීන් අතුරින් බහුතරයක් දෙනා ගමන් වියදම් අපහසුතා සහ ගමනාගමන අපහසුතා නිසා සායන මග හරින බවට ද සනාථ වී තිබේ. අපහසුතා මධ්‍යයේ   සායන වෙත යන රෝගීන් දිනකට ආසන්න වේලාවක් එහි රැඳෙමින් තුටුදායක ප්‍රතිකාර නොලබා ආපසු නිවෙස් කරා ආ බවට ද කරුණු අනාවරණය වී තිබිණි.

ඒ සියල්ල හමුවේ අනාවරණය වූ කරුණු අතර රෝගී පිළිබඳ සත්‍ය හෝ නිශ්චිත ව දැනගත යුතු කරුණු පැහැදිලි කර ගැනීමට සෞඛ්‍ය අංශවල කිසිවකුත් ඉදිරිපත් නොවූ බවටත් වෛද්‍ය වාර්තාව ලෙස හා රුධිර පරීක්ෂණ වාර්තාවල ඇති වැදගත්කම පහදාදීමට අයෙකු නොමැති බවත් පැහැදිලි වේ.

වෛද්‍ය වාර්තා සහ ඖෂධ ලබා ගැනීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ රෝගීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද ඊළඟ සායන වාර හෝ වෛද්‍යවරයා මුණ ගැහීම පිළිබඳ පැහැදිලි දැනුමක් ඇතිව ආපසු නිවෙස් කරා නො යන වග ද කරුණු අනාවරණය වී තිබිණි.

පසන් ජයසිංහ වෛද්‍යවරයාගේ අනාවරණ වාර්තාවට අනුව දහස් ගණනක් රෝගීන් අතරින් දෙසිය දෙනෙකුගේ තොරතුරු කරුණු මතුකර ගැනීමටද උත්සාහ ගෙන ඇති සෙයක් දක්නට ලැබිණි.

විසඳුම

එකී සියලු කරුණු මත රැඳෙමින් දියුණු රටවල සෞඛ්‍ය අංශයන්හි ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරමින් ප්‍රධාන නගරාශ්‍රිත රෝහල්වලට සාපේක්ෂව ප්‍රාදේශීය ග්‍රාමීය රෝහල් වෙත ප්‍රතිකාර නිසි ලෙස ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජනා විය.

රජයේ රෝහල් සියල්ල තුළින් ග්‍රාමීය පොදු මහජනතාවට  නිසි ප්‍රතිකාර ලබා ගැනීමේ මං පාදා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද යෝජනා විය.

ඒ අනුව  රජයේ මැදිහත් වීම මත රුධිර පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් විල්ගමුව ට අවශ්‍ය ව ඇත. ඒ සඳහා විල්ගමුව වකුගඩු රෝග සායනයේ දී ම පරීක්ෂණ පවත්වා දීමට හැකි අයුරින් රජයේ ප්‍රතිපාදන වෙන් කර දීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් රෝගය පාලනය කිරීම වෙනුවෙන් ලබා දිය යුතු ඖෂධ බාහිර ඖෂධ හල් වලට නියම කරනවා වෙනුවට විල්ගමුව වකුගඩු සායනයෙන් හෝ ඒ ආසන්න රෝහල් වලින් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සැකසිය යුතුය. අතිශයි වැදගත් වන තවත් ප්‍රධානතම කාරණයක් වන්නේ රෝගීන්ට ඔවුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සහ රෝගීන් වැළැකී සිටීමට ඔන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පුළුල් දැනුම  ලබා දීමට අවශ්‍ය නිලධාරීන් කිහිප දෙනකු පත් කර ගනිමින් රෝගීන්ට වකුගඩු රෝග පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමට වැඩසටහන් හඳුන්වා දීමය. ඒ සඳහා උපාධිධාරීන් ලෙස පත් කරගත් නවක පත්වීම් සහිත පුද්ගලයෙක් පුහුණු කර යෙදවිය හැකිය. විශේෂඥ වෛද්‍ය සහය ඇතිව කුගඩු රෝගීන් කලින් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර සැලසුම් සහගත ලෙස යාවත්කාලීන කළ හැකිය එහි වැදගත්කම වන්නේ වකුගඩු රෝගියාගේ වකුගඩු අකර්මණ්‍යතාවය හෝ රෝගියෙකු ලෙස හඳුනා ගැනීමේ අවස්ථාව නිර්ණය කරගත හැකි වීමය මන්ද ඒ ඒ අවස්ථාවන් අනුව ජීවිතය රැක ගැනීමට ප්‍රතිකාර ලබාදිය යුතු ක්‍රමවේද විවිධය.

ගිරාඳුරුකෝට්ටේ රුධිරකාන්දු පෙරණ මධ්‍යස්ථානය

සාරාංශය

ඉහත කරුණු සියල්ල සලකා බලූවිට පහත පරිදි මෙම ගැටළු සාරාංශගතකල හැක.

රෝගීන්ට නිවාරණය පිළිබඳව අවබොධයක් නැතිබව, රෝගය හඳුනා ගැනීමත් ප්‍රථිකාර පිළිබඳවත් පැහැදීමක් නැතිබව, ප්‍රවාහණ හා අනිකුත් ආර්ථික ගැටලු වශයෙනී.

මේ සියළු ප්‍රශ්න වලට යාවාත්කාලීනවන් දැනුම තුලින් පිළිතුරු ලබාදීම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශවල වගකීමවේ. සාර්ථක ප්‍රථිපල සදහා මේ සියල්ල එක තැනකින් නියාමණය විය යුතුය.

සෞඛ්‍යය ප්‍රවර්ධනයෙන් අවධානම් සාධක අවම වටපිටාවක් විල්ගමුව වාසින් සදහා ඇති කල යුතුය. සෞඛ්‍යය, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රාදේශිය ලේකම් හා අනිකුත් සංවිධානවල ක්‍රියාශීලි සහයෝගෙයෙන් විධිමත් වැඩ පිළිවෙළක් අත්‍යාවශ්‍යය. ආරක්ෂිත කෘෂිකර්මය, ආරක්ෂිත ජලය, විජලනයෙන් වැළකීම වැනි යහපත් ක්‍රියාකාරකම් මේ තුළින් ප්‍රචලිත කළ හැක. මේ සඳහා ප්‍රදේශයේ අළුතින්ම ඉදිකරනලද ගොඩනැගිල්ල නිසි ප්‍රයෝජනයක් නොගෙන  පාළුවීමට ඉඩ හැර ඇත.

මීළඟට කලයුත්තේ සමාජයේ සිටින රෝගීන් මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමයි. මෙය ඉතා සරලවන අතර හෙට්ටිපොල රෝහල සතුව මේ සඳහා සියලු පහසුකම් ඇත.

මීළගට ඇත්තේ හදූනාගත් රෝගීන්ට අවශ්‍යය ප්‍රතිකාර ලබදීම ය. මෙහිදීද රෝගීන්ගෙන් සියයට අනූවකගේම ප්‍රතිකාර හෙට්ටිපොල රෝහලෙන්, අනිකුත් කුඩා රෝහල්වලින් හෝ පෞද්ගලික ප්‍රතිකාර ලබාදෙන සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් මගින් සිදුකරගත හැක.

`ප්‍රජා මැදිහත්වීමේ මධ්‍යස්ථානය…

එහෙත් මෙහිදී ඇතිවන විශාලම ගැටලුවනම් රෝගියාට වගකියන නිශ්ඡිත වෛද්‍යවරයෙක් නොමැති කමයි. ඕනෑම දියුණු සෞඛ්‍ය පද්ධතියක තිබිය යුතු මේ අන්වාර්‍ය අංගය අපේ රටේ නැත. මේ නිසාම රෝගීන් ඉබාගාතේ යමින් මුදලුත්, කාලයත් නාස්ති කරගනී. ඒත් මේ සරල කරුණ තිබෙන සම්පත් මගින්ම පහසුවෙන් විසදාගත් හැක.

රෝගීන් විධිමත්ව බෙදී ගියහොත් කාලයෙ  සියයට එකක් පමණක් යොදා මෙම රෝගීන් සියල්ල බලාගත හැක.

එසේ විසඳාගතහොත් ඔවුනට අවශ්‍ය සියලුම ප්‍රථිකාර හා පරීක්ෂණ හෙට්ටිපොලින්ම සිදුකර ගත හැක. අනිකුත් පරීක්ෂණ රෝගීන් සියල්ල යනවා වෙනුවට රුධිර සාම්පල පමණක් මහියංගනයට හෝ මහනුවරට යවා වාර්තා ගෙන්වා ගත හැක. මෙම රෝගීන් වසරකට දෙවරක් හෝ තුන්වරක් පමණක් සායනයට ඒම ප්‍රමාණවත්වේ.

මේ පිළිබඳව නිසි මග පෙන්වීමක් නොමැති අතර අවම වශයෙන් දැනට පවතින ප්‍රායෝගික තත්වයන් මත අඩුම වශයෙන් මසකට දිනක්වත් රෝහලට පැමිණේ.

ප්‍රථිකාර කිරීමට අසීරු කොටස රෝගය උත්සන්න තත්වයට පත්වූ කොටසය. එහෙත් මෙම ප්‍රමාණය එතරම් විශාල නැත. මාස හයක් පමණ කාලයක් ප්‍රථිකාර සැලසුම් කිරීම සඳහා යොදාගත හැක. මසකට මෙවන් රෝගීන් පහක් පමණ සිටින අතර අවම වශයෙන් දෙදෙනෙකුවත් අනිකුත් දුබලතා නිසාම ඩයලිසිස් මගින් ජීවත්කළ නොහැකි මට්ටමක පසුවේ. ඉතින් ඇත්ත වශයෙන්ම ප්‍රධාන රෝහල වෙත යොමු විය යුත්තේ ඔවුන් පමණය.

විල්ගමුව රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය..

රුධිර කාන්දුකරණය ගෙදර සිටම කරගත හැකි නිසා ඩයලිසිස් සඳහා පිට පලාත්වලට යෑමත් අවමකර ගත හැක. දැනටමත් රෝගීන්ට ඩයලිසිස් ප්‍රථිකාර ලබා ගැනීමට පහසුකම් සැපයේ. මීට අමතරව පැය භාගයකින් ළඟාවිය හැකි ගිරාඳුරුකෝට්ටේ ඩයලිසිස් ඒකකය වසර ගණනාවක් වසා ඇත. හෙට්ටිපොල ඒක්කය අතර මැද නවතා දමා ඇත.

රෝගය කළමනාකරණය කිරීමේ අනික් ප්‍රධානම අවශ්‍යතාවයනම් ගුනාත්මක විද්‍යාත්මක පරීක්ෂණ සඳහා පහසුකම් සැපයීමයි.

ඉතිං ඇත්තටම මේ විසදන්න බැරි ප්‍රශ්නයක්ද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙමත් නැත්නම් අපිම හදාගත් නාස්තිකාර අවුලක අපිම පැටලිලාද?

Exit mobile version