- කොවිඩ් වයිරසය ගර්භණී අවදියට ලොකු බලපෑමක් කරන්නේ නෑ
- එහෙත් ගැබිනි මව්වරුන් පරෙස්සම් විය යුත්තේ ඇයි?
- සීසේරියන් සැත්කමකදී වෛද්‍යවරුන් මුහුධ දෙන බරපතලම අභියෝගය මොකක්ද?
- මොන ප්‍රශ්න තිබුණත් පරෙස්සමින් සායනයට යන්න
කොවිඩ් ආසාදිත ව සිටි මවක් ඊයේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් ආසාදිත මව්වරුන් සඳහා වෙන් වූ ඒකකයේදී නිරෝගී දරුවකු බිහි කළේ සාර්ථක සීසේරියන් සැත්කමකට ලක් වීමෙන් අනතුරුවය. මේ කොවිඩ් වෛරසය ආසාදිත මවකට කළ දෙවැනි සැත්කමයි. මෙම සැත්කම සිදු කෙරුණේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් සඳහා වන විශේෂ ඒකකයේ ප්‍රධානී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ ගේ නායකත්වයෙනි. කොවිඩ් සහ ගර්භණී භාවය පිළිබඳව සාකච්ඡාවකට අපි විශේෂඥ වෛද්‍ය දෙවොලගේ මෙසේ සම්බන්ධ කර ගත්තෙමු.
- අපි මුලින්ම කතා කරමු ගර්භණීභාවයට මෙම රෝගය බලපාන්නේ කොහොමද කියල?
ඇත්තටම මූලික වශයෙන් අපි කතා කළොත් ගර්භණී මව සෙසු සංකූලතා තත්ත්ව නොමැති නම් මෙම කොවිඩ් ආසාදනය නිසා ගර්භණී මවකට විශේෂිත බලපෑමක් වෙන්නේ නෑ. මොකද මෙම රෝගයේ වැඩි බලපෑමක් තිබෙන්නේ වයස්ගත අයට. එ වගේම දුම්පානය කරන, එහෙම නැතිනම් පෙණහලුවල ආබාධ වැනි තත්ත්ව, අධි රුධිර පීඩනය වැනි තත්ත්ව පවතින අයට. ගර්භණීභාවයට පත් වන්නේ බොහෝ විට තරුණ අය. ඒ වගේම අපේ රටේ කාන්තාවන් දුම් පානය කරන්නේ නෑ. එහෙම අය හමුවන්නේ ඉතාම කලාතුරකින්. මේ නිසා කොවිඩ් ආසාදනය වීම නිසා ගර්භණී බවට ලොකු බලපෑමක් සිදුවෙනවා කියා කියන්න අමාරුයි.
සාමාන්‍යයෙන් ගැබිනි මවකගේ පෙණහලුවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එයට හේතුව එක් අතකින් ඔවුන්ගේ උරස් කුහරය දරු ගැබ නිසා කුඩා වෙනවා. එවැනිට පෙණහලු යම් සිරවීමකට ලක් වෙනවා. අනෙක් අතින් ඔවුන්ට තම දරුවාගේ ඔක්සිජන් අවශ්‍යතාවටත් එක්ක වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍යයි. එවිට ඔවුන් ගන්නේ ගැඹුරු හුස්මක්. නමුත් මෙම වයිරසයට බොහෝ දුරට සමාන වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදන ගර්භණී මවකට අහිතකර ලෙස බලපානවා. උදාහරණයකට H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ගැබිණි මවකගේ පෙණහලුවලට අයහපත් බලපෑමක් එන්න පුළුවන්.
- එහෙම නම් ඔවුන් මේ කොවිඩ් ආසාදිත මව්වරුන් අවදානම් කණ්ඩායමක් ලෙස සලකනවාද?
කොවිඩ් වෛරසය හේතුවෙන් ගර්භණී මව්වරුන් සඳහා සංකූලතා නොවුණත් ඔවුන් වෛරසය ආසාදනය වුණාට පසුව අපට විශේෂ වෙන් කළ පහසුකම් යටතේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර වගේම ඔවුන්ගේ දරු ප්‍රසූතිය ආරක්ෂිත ආකාරයෙන් සිදු කිරීමේ වගකීමක් තිබෙනවා.
නමුත් සමහර අවස්ථාවලදී වෙනත් සංකූලතා හේතුවෙන් විවිධ ප්‍රශ්න මවට ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී හදිසි ප්‍රතිකාර සඳහා රෝගියා රෝහල්වලට යොමු කරනවා කියල හිතන්න. සමහර අවස්ථාවලදී මවට හදිසි ශල්‍යකර්මයක් කරන්න වෙනවා. දැන් බොහෝ විට ශල්‍යකර්ම කරන්නේ පී.සී.ආර් පරීක්ෂණ ආදිය සිදු කර ඒවයේ වාර්තා ආවට පස්සේ. නමුත් ඉතා හදිසි තීරණාත්මක එකක් නම් වහා එය කළ යුතුයි. ඒත් දැන් ශල්‍ය කණ්ඩායමට ඒ සඳහා අමතර කාලයක් යනවා. හේතුව ඔවුන් ආරක්ෂක ඇඳුම් කට්ටල කිහිපයක් ඇඳිය යුතුයි. වෙනම සූදානම් විය යුතුයි. එවිට යම් කාලයක් ගත විය හැකියි. මේ නිසා ගැබිනි මවකට විතරක් නෙවෙයි ඕනෑම හදිසි සැත්කමකට හෝ ප්‍රතිකර්මයකට ලක් වන රෝගියකුට ඒ පසුබිම යටතේ කටයුතු කරන්න වෙනවා. මේ නිසා රෝගය අප වෙත කැඳවා නොගැනීමේ වගකීමක් අපි හැමෝටම තිබෙනවා. .
- කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් සම්බන්ධව සොයා බැලෙන ඒකකයේ ප්‍රධානියා ඔබ. මේ වනවිට කොවිඩ් වයිරස ආසාදිත මව්වරුන් කී දෙනකු වාර්තා වුණාද?
දැනට මව්වරුන් 80කට වැඩි පිරිසක් ආසාදනය වී තිබෙනවා. ඔවුන් බොහෝ දෙනකු සුවය ලැබුවා. ඇතැම් මව්වරුන් සාර්ථක ලෙස දරු ප්‍රසූතිය සිදු කළා. ඔවුන් සියලු දෙනාම නිරෝගිව සිටිනවා.
- සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදිත මවක් ප්‍රසූත කරන දරුවකුට රෝගය ආසාදනය වෙනවාද?
අපට දැනට පවතින විද්‍යාත්මක තොරතුරු අනුව මවගෙන් දරුවාට වෛරස ආසාදනය නොවන තරම්. එවැනි අවස්ථා වාර්තා වෙලා තිබෙන්නෙත් මුලු ලෝකයේම එකක් විතර. නමුත් එවැනි ඉඩක් නැහැ කියන්න බැහැ. මේ පිළිබඳව තවදුරටත් පරීක්සන මඟින් ඉදිරියේ දී සථිරවම යමක් කිව හැකියි. රෝගය ආසාදනය වන මවගේ සිරුර තුළ එම රෝග කාරක වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවෙනවා. මෙය මවගේ රුධිරයෙන් දරුවාට යනවා. මේ නිසා දරුවාගේ සිරුර තුළ වෛරස ආසාදනය ඉඩක් ලැබෙන්නේ නෑ. නමුත් අපි දරුවා ඉපදුණාට පසුව මවට හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ දරුවා අල්ලනකොට අත සෝදලා ඒ වගේම කිරි දෙන විට මුඛ ආවරණයක් පැලඳ ඒ දේවල් කරනන් කියලයි.
- කොවිඩ් ආසාදිත මව්වරුන් සම්බන්ධයෙන් දරු ප්‍රසූතිය සැත්කම් ආදිය කරන්නේ ඔබ කණ්ඩායමයි. එම අත්දැකීම පිළිබඳව සඳහන් කළොත්?
ඇත්තටම මෙම වෛරස ආසාදනය සම්බන්ධයෙන් පවතින ලොකුම අභියෝගය තමයි ඒක. සැත්කමකට ලක් කිරීම ඉතා අභියෝගාත්මකයි. ඊට ප්‍රධාන හේතුව වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කණ්ඩායම විසින් අනුගමනය කිරීමට සිදුවන සෞඛ්‍යාරක්ෂක වත් පිළිවෙත්.
එය මා මෙසේ පැහැදිළි කරන්නම්. අපට මෙවැනි කොවිඩ් ආසාදිතයන් සමඟ ශල්‍යාගාරයට යද්දී අඳුම් ආවරණ කට්ටල තුනක් පළඳින්න වෙනවා. පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටලයත් එක්ක. ඊට අමතරව අත් වැසුම් කට්ටල හතරක් පළඳින්න වෙනවා. මුව ආවරණ , ඇස් ආවරණ , මුහුණු ආවරණ මේ සියල්ල පළඳන්න සිදුවෙනවා. ඔබ හිතන්න අතට අත් වැසුම් කට්ටල හතරක් දැම්මා ම ඇඟිලි සියුම් ලෙස හසුරුවන්න කොච්චර අමාරුද කියල. ශල්‍ය කර්මයක් කියන්නේ වෛද්‍යවරුන්ගේ ඇඟිලි ඉතා සූක්ෂම ලෙස හසුරුවන්නට සිදුවන අවස්ථාවක්. මේ නිසා ඉතාම වගකීමෙන් අවධානයෙන් මේ කටයුත්ත කරන්න වෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපි ට වැඩ කරන්න වෙන්නේ වායු සමනය කරන ලද ශල්‍යාගර තත්වයන් තුළ . මුහුණු ආවරණ ඇස් ආවරණ ආදිය දැමීම නිසා පැයක් ගත වන්නට මත්තෙන් මුහුණේ ඒ ආවරණ ජල වාෂ්ප බැඳිමෙන් පෙනීම බොඳවන තත්ත්වයට පත් වෙනවා. එයත් ලොකු ගැටලුවක්. මේ අභියෝග මැද තමයි ශල්‍යකර්මය සිදු කරන්න වෙන්නේ.
සමහර සැත්කම් සිදු කරන විට තවත් අභියෝග එනවා. සමහර මව්වරුන් සම්බන්ධයෙන් සිසේරියන් සැත්කම් ආදිය සිදු කිරීමේදි යම් සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලය සැත්කමට ගත වන කාලය දීර්ඝ වීම. නමුත් ඉන්න ශල්‍ය කණ්ඩායමට විනාඩි 40ක් පමණ ගත වුණාම විශේෂයෙන් මුහුණු ආවරණවල ජල වාෂ්ප බැඳීම නිසා පෙනීම අඩු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක කළ යුත්තේ තවත් ශල්‍ය වෙද්‍යවරයකු කැඳවීමයි. එහෙත් දැනට එවැනි ක්‍රමවේදයක් නැහැ. අපට අවශ්‍ය වුණත් පිටතින් ගෙන්වා ගන්න නොහැකියි හේතුව දැනට පවතින ක්‍රමවේදය තුළ අපට දුරකථන ඇමතුමක්වත් ගන්න බැහැ. සන්නිවේදනය ඇදවැටෙනවා. මේ තත්වයට කළ යුතු හොඳම දේ තවත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් අතිරේකව සූදානමින් සිටීම.
මෙහිදී පවතින තවත් අභියෝගයක් තමයි මෙම ශල්‍ය වෛද්‍ය කණ්ඩායම්වලට වයස්ගත හෝ වෙනත් රෝග සංකූලතා නොමැති වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහභාගි කරවා ගත යුතුයි. ඔවුන් නිරෝගී විය යුතුයි. නැතිනම් ඔවුන් පහසුවෙයන් වෛරස ආසාදනයට ගොදුරු වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මේ දිනවල රෝහල්වල සිදුවන හදිසි සැත්කම් බොහොමයකට පෙර පීසීආර් වාර්තාව ලබා ගන්නවා. යම් හෙයකින් ඉතා හදිසියේ කොවිඩ් ආසාදිතයකුට හෝ පීසීආර් මඟින් ආසාදිතයකු බවට තහවුරු නොවූ පුද්ගලයකුට යම් සැත්කමක් කරනවා නම් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම මේ ආකාරයෙන් කටයුතු කළ යුතුයි. සුළු වැරැද්දකින් පවා රෝගියාට විශාල හානියක් වෙන්න පුළුවන්. එය විශාල අභියෝගයක්. ඔවුන්ට ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙනවා. එහිදී සැත්කමේ නිරවද්‍යතාවට යම් අභියෝගයක්. එය ඇත්තටම මෙම රෝගය වැලඳුණු කෙනකු මුහුණ දෙන එක්තරා අභියෝගයක් කීවාත් එය නිවැරදියි.
මේ තත්ත්වයට හොඳම විසඳුම එවැනි තීරණාත්මක සැත්කම් අවස්ථාවලදී තවත් කණ්ඩායමක් අතිරේකව සූදානමින් සිටීමයි. එහෙත් දැනට එවැනි දෙයක් සිදුවන්නේ නෑ.
- ඔබ අදාළ අංශවලින් හෝ කොවිඩ් පිළිබඳව පැවැත්වෙන අමාත්‍යංශ මට්ටමේ තාක්ෂණික කමිටුවලින් මේ ඉල්ලීම කළේ නැද්ද?
අපි කිහිප වතාවක් මෙවැනි වෛද්‍ය කනව්ඩායමක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළා. නැවත නැවතත් ඉල්ලුවා. අමාත්‍යංශයට ලිව්වා. තවම සාර්ථක ප්‍රචිතාරයක් ලැබී නෑ. ඇත්තම තත්ත්වය එහි සිටින ඇතැම් ඉහළ නිලධාරීන් ගැබිනි මව්වරුන් සඳහා වෙන්වුණු මෙවැනි විශේෂ ඒකකයක් තිබෙනවා කියලවත් දන්නේ නෑ. නමුත් අපි අපේ කාර්යය කැපවීමෙන් කරනවා.
- මේ අභියෝගය ජය ගන්නට විශේෂයෙන් ඔබ කරන යෝජනා මොනවද?
එකක් ශල්‍ය කණ්ඩායම් මේ සඳහා විශේෂයෙන් පුහුණු කළ යුතුයි. දැනට පවතින ප්‍රායෝගික ප්‍රශ්න අවම කරවන නව නිර්මාණ ගැන සිතිය යුතුයි. දැනට භාවිත වන අත්වැසුම්වලට වඩා ඇදිමේ ගතිය වැඩි නම්‍යතාව සහිත රබර් අත්වැසුම් නිර්මාණය කරන්න වෙයි. මුහුණ ජල වාෂ්පවලින් ආවරණය වීම වැළැක්වීමට යම් නව විසඳුම් අවශ්‍ය වෙයි.
- ඊයේ දිනයේදී ඔබ මෙවැනි අභියෝගාත්මක අත්දැකීමකට මුහුණ දුන්නා . ඒ ගැන කතා කළොත්?
ඔව්. මම පමණක් නෙවෙයි. මගේ කණ්ඩායම මේ අභියෝගයට මුහුණ දුන්නා, දෙවැනි වතාවට. ඊයේ අපි සැත්කමකට ලක් කළේ 44 හැවිරිදි මවක්. ඇයගේ තෙවැනි දරුවා තමයි ඇයට කොවිඩ් ආසාදනය වීමෙන් පසුව බිහි වුණේ. මේ මව ට සීසර් සැත්කමට බඳුන් වෙන්නෙත් තුන්වැනි වරටයි. අපි ඉතා සැලසුම් සහගතව කණ්ඩායම් හැඟීමකින් යුතුව මෙම කාර්යය කළා. අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුමනය කරමින් කළ මෙම සැත්කමින් අපට නිරෝගී දරුවකු මේ මවට ලබා දීමට හැකියාව ලැබුණා. මෙහිදී ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ , නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති පලිහවඩන ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයත් හෙද කාර්ය මණ්ඩල ඇතුළු සෙසු සියලු දෙනාම ඒ සඳහා කැපවීමක් කළා.
- අද මේ වසංගතය සැලකිය යුතු බරපතල මට්ටමක පවතින්නේ එවැනි පසුබිමක් තුළ ඔබ මේ රටේ ගැබිණි මව්වරුන් කටයුතු කළ යුත්තේ කෙසේද?
මා දෙන වැදගත්ම පණිවිඩය තමයි ගැබිනි මව්වරුන් තමන්ට නියමිත සායනවලට අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි කියන එක. කොවිඩ් වසංගතයට බිය විය යුතුයි තමයි. එහෙත් එසේ බිය වී වෙද්‍යවරුන් හමු නොවී සායනවලට සහභාගී නොවී සිටියහොත් අනපේක්ෂිතප ප්‍රශ්න එන්න පුළුවන්.
ඔබ දන්නේ නැතිව ඇති මේ අවුරුද්දේ පළමු වතාවට රට වසා යළි විවෘත කරන කාලය තුළ මෙරට සිදුවූ මරණ 52ක් රෝහල්වලට නිසි වෙලාවට ප්‍රතිකාර සහා යොමු නොවීම නිසා ඇති වූ මරණ. ඒ බව මරණ පරීක්ෂණවලදී තහවුරු වී තිබුණා. හෘදයාබාධ, අධි රුධිර පීඩනය, ශ්වසන ආබාධ, වකුගඩු රෝග වැනි විවිධ ප්‍රශ්න තිබුණත් ඔවුන් කොවිඩ්වලට තියෙන බයත් ඇඳිරි නීතිය වැනි තත්ත්ව නිසාත් රෝහල්වලට ගිහින් නෑ. මෙයින් මාතෘ මරණ තුනක් සිදුව තිබෙනවා. ඒ අධි රුධිර පීඩනය තිබූ මව්මවරුන්. එය අදාළ පවුලටත් රටටත් මහ අපරාධයක්. මේ නිසා තමයි ඔබට යළි යළිත් කියන්නේ ගැබිණි මවක් නම් අනිවාර්යයෙන් අදාළ සායන සඳහා සහභාගී වෙන්න වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
පොදුවේ මේ බව සෙසු අයටත් කිව යුතුයි. මොකද මෙවර සිදුවූ මරණවලින් වැඩි ගණනක් සිදුවුණේ නිවෙස්වල. ඔවුන් බොහෝ විට රෝහල්වලට යන්න තියන බිය නිසා වෙන්න පුළුවන්. යම් හෝ අසනීපයක් තිබෙනවා නම් අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව රෝහල් වෙත යොමු වීම ඉතාම වැදගත්.