ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

ගැමුණු සාලිය පෙරේරා.-
මහජන සෞඛ්‍ය පරීක්ෂක . දෙහිවල ගල්කිස්ස මහානගර සභාව

ඉර එළියට නිරාවරණය වුනාම විටමින් ඩී ලේසියෙන්ම ඇඟට ගන්න පුලුවන් කියල අපි  හැමෝම වගේ දන්නවා. ඉර එළිය සුපිරියටම තියෙන නිසා අපට විටමින් ඩී වලින් ප්‍රශ්නයක්  නෑ කියල තමයි අපි බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ.

සමකයට දුරින් තියෙන, ඉර එළිය යහමින් නොලැබෙන රටවල්වල ජනතාවට කාලයක් තිස්සේ විටමින් ඩී ප්‍රශ්නයක් තිබුනා. ඒත් දැන් ඉන්දියාව ලංකාව වගේ රටවල්වලටත් විටමින් ඩී ඌණතාවය තදින්ම දැනෙනවා. ජීවන විලාශය වෙනස් වීම සහ රූපලාවන්‍ය  (කළු වෙනවට තියෙන බිය) හේතු නිසා දැන් බොහෝ දෙනෙකු ඉරට වහන් වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ.  ඩී විටමින් යහමින් ශරීරයට නොලැබුනොත් අස්ථි ආබාධ, ඔස්ටියෝපොරෝසිස් වගේම සමහර පිළිකා සඳහාත් බලපානව කියලයි කියැවෙන්නේ .

උදේ වරුවේ පැයක් පැය භාගයක් ඉර එළියේ පහස විඳින්නට අපහසු අකමැති ඇත්තන්ට කෑමෙන් බීමෙන් විතරක් විටමින් ඩී ගන්න එක ලේසි නෑ.  මොකද විටමින් ඩී ගානට පදමට තියෙනවා කියල හිතාගෙන ඉන්න කිරි, බිත්තර , චීස්, බටර් , පීකුදු වගේ  ගාණ සැර කෑම වර්ගවලත් විටමින් ඩී මහ ලොකුවට නෑ.   මේ හැම එකකම ග්රෑම් 100 ක විටම්න් ඩී තියෙන්නෙ ජාත්‍යන්තර ඒකක (IU) 90 ටත් වඩා අඩු අගයක්. දවසකට අපට ජාත්‍යාන්තර ඒකක 1000 ක් විතර විටමින් ඩී  ඕන වෙනවා.

කෑමවලින්ම වටමින් ඩී ගන්න හිතාගෙන ඉන්නවානම් , අර කිවුව කෑමවලට අමතරව  මෝර තෙල්,  සැමන් මාළු, මැකරල්, ටූනා, සාඩින් වගේ මාළු වර්ග, (oily fish) වැඩිපුර  දිනපතාම කන්න  වෙනවා. අද කාලේ ඒ කෑමවල මිළ ගනන්වල හැටියට එහෙම කන්න ජනගහණයෙන් අති බහුතරයකට හීනයක්. යුරෝපා රටවල්වල නම් මේකට විසඳුමක් විදියට කිරි, යෝගට්, සීරියල් වර්ග, පලතුරු යුෂ වගේ කෑම බීමවලට විටමින් ඩී බාහිරව එකතු කරලත් තියෙනවා .


විටමින් ඩී පෝෂණ අර්බුදය ජයගන්න ඉතාම සරල විද්‍යාත්මක ක්‍රමයක් පිළිබද පර්යේෂණ පත්‍රිකා ටිකක් මෑතකදී   කියවන්න ලැබුනා.   මේ පර්යේෂණවලින් පැහැදිලිවම තහවුරු වෙලා තියෙන කාරණා ගැන අපේ රටේ පෝෂණ බලධාරීන්ගේ අවධානය වහ වහාම යොමු වෙන්න වටිනවා.

හිරුට නිරාවරණය කළ බිම්මල්වලින් සුපිරියටම  විටමින් ඩී .

සත්ව ශරීර තුළ කොලෙස්ටරෝල් වලින් කරන වැඩේ දිලීරවල කරන්නේ ergosterol නැමති සංයෝගයෙන්.

මේ ergosterol හිරුඑළියේ තිබෙන පාරජම්බුල කිරණවලට පැය බාගයක් පැයක් විතර කාලයක් නිරාවරණය වුනාම විටමින් ඩී බොහොම සරුවට නිෂ්පාදනය කරනව කියල විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන්  හිරුඑළියට නිරාවරණය නොකර අඳුරු පරිසරයක වානිජව වගා කෙරෙන බිම්මල්වල විටමින් ඩී නොගිනිය හැකි තරමකින් තිබුණට, හිරු එළියට නිරාවරණය වී ස්වාභාවික පරිසරයේ හැදෙන බිම්මල්වල අපගේ දෛනික අවශ්‍යතාවයද ඉක්මවා යන මට්ටමක විටමින් ඩී  නිෂ්පාදනය වන බව අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වානිජව නිෂ්පාදනය කෙරෙන බිම්මල් අස්වැන්න නෙලීමට ප්‍රථමව හෝ අස්වැන්න නෙලූ පසු පැයක  මිනිත්තු 90 ක කාලයක් හිරුඑළියට නිරාවරණය කිරීමෙන් හෝ පාරජම්බුල කිරණ නිකුත් කරන  කෘත්රිම  විදුලිපහන් ආලෝකයට බිම්මල් නිරාවරණය කිරීමෙන් ද ඉතා ඵලදායක ලෙස විටමින් ඩී ප්රමාණය වැඩිකර ගන්න පුලුවන් කියලත් මේ අධ්‍යයනවලින් පැහැදිලි වෙනවා.

තවද බිම්මල්වල යටිපැත්තේ පිහිටන කරමල් වල (gills) ඉතා අධිකව ergosterol තියෙන නිසා යට පැත්ත පාරජම්බුල කිරණවලට නිරාවරණය කිරීමෙන් සහ   බිම්මල් තීරුවලට කැපීමන් පසුව හිරුඑළියට නිරාවරණය කිරීමෙන් ද විටමින් ඩී ඉතා අධිකව නිෂ්පාදනය කරගන්නට හැකි බවත් පෙනී ගොස් තිබෙනවා.

විටමින් ඩී ඌණතාවය ලංකාවේ ඉතාමත් බරපතලයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ  වසංගත විද්‍යා ඒකකය මගින් සතිපතා ප්‍රකාශයට පත්කෙරෙන වසංගත විද්‍යා වාර්තාවේ (2023 මාර්තු මාසයේ තුන්වෙනි සතියේ) පලකෙරී තියෙන වාර්තාවෙන් කියවෙන කාරණා අතිශයින්ම  බියකරුයි.

ඒ අනුව බොහොමයක් වටිනා කියන පෝෂ්යපදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක ද බහුල, අනෙක් අතට නිර්මාංශ සහ ජනප්‍රිය  ආහාරයක් ද වන බිම්මල්වල හිරුඑළිය උපකාරයෙන් අගය වැඩිකර ආහාරයට ගැනීම අපේ රටේ  ජනප්‍රිය කරණ එක ජාතික වැඩක්  වෙන්න ඕන කියල බොහොම සද්භාවයෙන් යුතුව මෙහි ලියා තබනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6213178/

 

 

Exit mobile version