හෝටලයට වෙඩි තිබ්බෙ ආණ්ඩු දේශපාලකයෙකුගේ පාතාල බොඩිගාඩ්

පොලිස් නිලධාරීන් බලා සිටියදී රත්මලානේ ලක්මැදුර හෝටලයට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ වෙඩි තබා ඇති කොණ්ඩා ජනති නැමැති පාතාල අපරාධකරු මෙවර මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජනප පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන අයෙක් බව අනාවරණය වී ඇත.

එම පාතාල අපරාධකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ව 2018 වසරේ මැයි 24 වෙනිදා ඝාතනය කිරීමකට බන්ධනාගාරගතව සිට ඇප ලබා මෑතකදී නිදහස්ව පැමිණි අයෙක්වන කොණ්ඩා ජනිත් නැමැත්තාය. ඝාතනය වූ හිටපු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වන අතර ඔහුගේ වැඩිමහල්පුතා ඒ වන විට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතුකරමින් සිට ඇත. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බාල පුතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාය.

ධනංජයගේ පියා ජීවතුන් අතර සිටියේ නම් මෙවර මහා මැතිවරණයට තරග කරන්නේ ඔහුය. ධනංජයගේ පියාගේ ඝාතනය කුමන අරමුණකින් එදා සිදුවූයේදැයි පැහැදිලිව අනාවරණය නොවූවත් එය පාතාලයේ ගැටුමක් බව පොලීසිය සඳහන් කළේය. ඩුබායි රටේ සිය බිරිඳ සහ දරුවන් සමග සැගව සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන අංජු නැමැත්තා විසින් ධනංජයගේ පියාගේ ඝාතනය මෙහෙයැවූ බව කියති.


කුඩු අංජුගේ කොන්ත්‍රාත්තුතව

කොණ්ඩා ජනිත පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සඳහන් කර තිබුනේ අංජු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය කළ බවත් ධනංජයදට වෙඩි තබන ලෙස තමාට පැවැසූ බවත්ය. එදා ධනංජය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගිවී සිටීම නිසා ඔහුගේ දිවි බේරී තිබුණි.

කොණ්ඩා ජනිත ලක්මැදුර හෝටලයට වෙඩි තැබීමට සම්බන්ධ බව හෙළිකර ගන්නේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයයි. ඒ අනුව ඔහුව පානදුර පැත්තේ රැදී සිටියදී 30 වෙනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. එහෙත් පොලීසිය පැත්තෙන් නම් කියැවෙන්නේ එය අත්අඩංගුවට ගැනීමක් නොව කල්තියා කළ සැළසුමකට අනුව භාර වීමක් බවය. වෙඩි තැබූ ගිනි අවිය මෙන්ම වෙඩි තැබීමට ගමන් කළ වැගන් ආර් රථයද සොයා ගෙන නැත.

දේශපාලකයාගේ ආරක්ෂාව  

ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ ඩුබායි සිට අංජු විසින් කළ දැනුම් දීමකට අනුව හෝටලයට වෙඩි තැබූ බවය. ඊට පෙර මැයි 19 වෙනිදාද හෝටලයට ප්‍රහාරයක් එල්ලකල බවද ඔහු සදහන්කර තිබේ. මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ ආරක්ෂාවට තමා ගියේද අංජුගේ කීමට බවද ඔහු පවසා ඇත.

කොරොනා වසංගතය අස්සේ අදාල දේශපාලනඥයා විසින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර මළු බෙදා හැර ඇති බවත් අංජු ඩුබායි සිට ඊට සහය දක්වා ඇති බවත් අනාවරණය වී තිබේ. ලක්මැදුර හෝටලයේ හිමිකරුටද අංජු ඇමතුමක් දෙමින් අදාල දේශපාලනඥයාට භාණ්ඩ බෙදීමට රුපියල් ලක්ෂ 05 ක් දෙන ලෙස දැනුම් දී ඇති බවද හෙළිවී ඇත. තමාට එතරම් මුදලක් ලබාදීමට නැති බවත් හාල් මුට්ට 15 ක් උවමනානම් දෙන්නම් යැයි සදහන්කර තිබෙන බවත් දැන් හෙළිවෙමින් ඇත. එම මුදල ලබානොදීම හේතුවෙන් උරණ වී කොණ්ඩ ජනිත් යොදා හෝටලයට මැයි 19 වෙනිදා ප්‍රහාරයක් එල්ලකර ඇතැයි හෙළිවී තිබේ. අනතුරුව අංජු නැවත වරක් හෝටල් හිමිකරුට දුරකථන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ තමාගේ ඉල්ලීම ඉටුකරලීමට නොහැකි වූ නිසා කෝටියක මුදලක් අවශ්‍ය බවය. එවැනි මුදලක්  ලබා නොදුනහොත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන බවද සඳහන් කර ඇත.

පොලිිසියටත් වලංගු නෑ…

ඒ ගැන ඔහු ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර පොලීසිය ඔහුගේ හෝටලයට සන්නද්ධ ආරක්ෂාවක්ද යොදවා තිබේ. 28 වෙනිදා රාත්‍රියේ හෝටලය අසලට පැමිණි කොණ්ඩා ජනිත් ටී 56 අවියකින් වෙඩි තබන්නේ පොලිස් නිලධාරීන් බලා සිටියදීය. එය වලක්වාලීමට පොලීසිය කිසිවක් කර නැති අතර අඩුම තරමින් වෙඩිල්ලක් තබාහෝ ප්‍රතිප්‍රහාරයක් එල්ලකර නැත.

එසේ හැසුරුණු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇතත් අංජුගේ පාතාල කල්ලිය බරටම දේශපාලනයේ නිරතව සිටින බැවින් ඔවුන්ව පාලනය කිරීමටද පොලීසියට දැන් ලොකු බාධාවන් එල්ලවන්නට පටන්ගෙන ඇති බව පොලීසිය පැත්තෙන්ම කියැවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කල්ලිය පාලනය කිරීමට බලධාරීන්ගේ සහය පොලීසියට නොලැබුණහොත් මැතිවරණ වේදිකාවකදී හෝ රැලියකදී හෝ මැතිවරණ ප්‍රචාරණ වැඩ සටහනකදී දේශපාලන ඝාතනයක් සිදුවීම වැලැක්වියබ නොහැකි බව පොලීසියේ බොහෝ දෙනෙක් කියති.

Exit mobile version