හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව!

පසුගිය දිනවල  රටේ පැවති තත්ත්ව මත යුධ හමුදා සෙබළුන්ට ලබා දෙන ආහාර වේල්වලට නිර්දේශිත ආහාර නොපැවැති අවස්ථාවල ඊට අදාළ ආදේශක ලබා දීමට කටයුතු කර ඇති බවත් කිසිදු ආකාරයකින් ආහාර වේලෙහි ගුණාත්මක බව අඩු කිරීමට කටයුතු නොකළ බවත්  ඒ ඒ ප්‍රදේශවල අණ දෙන නිලධාරීන්  තමන් වෙත දැන්වූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ලංකාසරට පැවසීය.

ඔහු ගේ මේ ප්‍රකාශයට පසුබිම්  වූයේ ඊයේ ලංකාසර වෙබ් අඩවිය විසින් පළ කරන ලද යුද හමුදා සෙබළුන්ගේ ආහාර වේලෙහි ගුණාත්මක බව බිඳ වැටීම පිළිබඳව වාර්තාවකි.

අපට වාර්තා වුණු සෙබලුන්ගේ ආහාර වේලේ ස්වරූපය…

මෙම වාර්තාව පළ වීමෙන් පසු ලංකාසර වෙත තවදුරටත් එවැනි තොරතුරු  ලැබෙන පසුබිමක් තුළ අප මේ පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කර සිටියේ යුධ හමුදාවේ ආහාර ලබා දෙන පිළිවෙතක් පවතින අතර එම පිළිවෙත අනුව සෑම ආහාර වේලක්ම ලබා දීමේදී   ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතියක් ද ලබා ගත යුතු බවය.


එසේම එම ආහාර වේල  පිසීමෙන් පසුව  අදාළ කඳවුරු භාර නිලධාරියා විසින් රස ද පරීක්ෂා  කර බලා එහි වට්ටෝරුව වාර්තාවලට ද එක් කරන බවය.   එවනි පසුබිමක් තුළ යුද හමුදා කඳවුරු ආහාර වේල් නිසි ප්‍රමිතියකින් සපයන බවත් යම් හෙයකින් මේ දිනවල පවතින ආහාර සම්බන්ධ ගැටලු හේතුවෙන් එක් ආහාර ද්‍රව්‍යයක් ප්‍රමාණවත් ලෙස සැපයීමට අපහසු අවස්ථාවලදී ඊට ආදේශක නියමිත පරිදි එක් කර ඇති බව සඳහන් කළේය.

කෙසේ වුවද අපට ලැබුණු වාර්තාවලට අනුව ඇතැම් කඳවුරුවල නියමිත පරිදි ආහාර සලාකය ලබා දීමට කටයුතු යෙදුණද  බොහෝ කඳවුරුවල නියමිත ආදේශකවත් නොලැබී ඇති බවත් වාර්තා විය. මේ පිළිබඳව කළ විමසීමට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“ මේ ගැන තවදුරටත් ඔබට වාර්තා එනවා නම් මම ත් තවදුරටත් ඔවුන් සම්බන්ධ කරගෙන සොයා බලන්නම්“

සෙබළුන් බොහොමයක්  ඔවුන්ට මාස ගණනකින් කිරි තේ නොලැබෙන බවට කරන චෝදනාව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“අපි දන්නවා පසුගිය දවස්වල විශාල සෙබළුන් පිරිසක් සිටින හමුදා කඳවුරකට නෙවෙයි, අපේ ගෙවල්වලට ප්‍රමාණවත් විදිහටවත් කිරි පිටි සොයා ගන්න බැරිවුණා.  එවැනි පසුබිමක් තුළ පවා දිනකට එක වේලක්වත් කිරි තේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. එසේ නැතිනම් කිරි පිටි වෙනුවට දියර කිරි ලබා දිමට කටයුතු  කර තිබෙනවා.“ යයි සඳහන් කළේය.

කෙසේ වුවද අපගේ වාර්තාව පිළිබඳව කලබලය පත් වූ රාජ්‍ය අනුග්‍රහමය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාක්ෂික කරුණු නිරවද්‍යතා  පරීක්ෂා කිරීමේ  (Fact checking ) ආයතනයක්  යුධ හමුදා ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය පමණක් පදනම් කරගෙන අප විසින් පළ කළ වාර්තාව අසත්‍ය බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ගෙන ගොස් තිබේ.  අප විසින් පෙන්වා දී ඇති කරනු සාවද්‍ය බවට එයින් එහා කිසිදු සාක්ෂියක් සාධකයක් පෙන්වීමට අපොහොසත්ව තිබු ආකාරයක් පෙනිණි.

මේ කාරණාව අප මතු කරනු ලැබුවේ වගකීම් සහිත කරුණු මත පදනම් වෙමිනි. ව්‍යාජ ඡායාරූප සහිතව වීඩියෝ එඩිට් කර මේ රටේ ගෞරවණීය යුද හමුදාවට ගැසිය යුතු ගේමක් හෝ න්‍යාය පත්‍රයක් අප සතුව නැත.  මේ රටට සෑම තලයකම සිට ගහන ගේම් දැන් හොඳටෝම ප්‍රමාණවත්ය. තේරුම් ගත යුත්තේ මෙයයි.

නියමිත අහාර සලාකය නිකුත් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වගකීම් සහිතව ප්‍රකාශ කරයි. පළාත් භාර අණ දෙන නිලධාරීන් ප්‍රකාශ කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. එහෙත්  හමුදා සෙබලු  සිය ආහාර වේලේ දුගී ස්වරූපය ගැන කොඳුරමින් සිටිති.

එසේ නම් මේ හෙළිවන්නේ යම්කිසි    දූෂිත නිලධාරීන් පිරිසක් රටත් හමුදාවත්  විනාශ කරමින් ඇති ස්වරූපය ය.  සොයා ගත යුත්තේ ඒ ගනුදෙනුවල අග මුලය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි ඇඟිල්ල දිගු කර ඒ අවපැහැ ගැනුණු ඇත්ත පෙන්වූයෙමු.      එහෙත් ආණ්ඩුවේ Fact checking අපේ ඇඟිලිවලට ගල් ගසමින් සිටිති.

Exit mobile version