සර්.. එන්න… ඇවිත් බලන්න…

ජානක ලියනආරච්චි  –

තවත්   වෙන්නට දෙයක් ඉතිරි වී නැත.

මහත්වරුණි. රෝහල් කොරිඩෝ වල  මිනිස්සු පැදුරු කඩමාළු මත මිය යමින් සිටිති.

මීට දෙමසකට පෙර ඉන්දියාවේ මිනිස්සු මේ ආකාරයෙන් පේව්මන්ට්වල වැටී මිය ගියහ.   කොවිඩ් 19 වැළැක්වීම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එදා මෙසේ  කීවේය.


“ මගෙ රටේ මිනිස්සුන්ට කවදාවත් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ.  ඕන තරම් සංචාරක හෝටල් තියනවා. නිකේතන තියනවා. ඒ හැම එකක්ම මේ මිනිස්සු වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරනවා.“

එතකොට අපි “රෙක්ස්පෙක්ට් සර්“ කියා කීවෙමු.

ඉතින් ශවේන්ද්‍ර… ඇවිත් බලලා යන්න. ඔබේ රටේ මිනිස්සු සුඛිතව සිටිති.

මරණ හංගමින්, කොවිඩ් සුනාමිය දෙපරංශය අස්සේ තද කරගෙන හංගන්නට හැදූ වෑයම නිරුවත් වී තිබේ. දැන් මේ වංගුව ගසා වැඩක් නැති බව   ආණ්ඩුවේ මහත්වරුන්ට කිව යුතුව ඇත. මේ වීඩියෝව බලන්න. මේ රාගම රෝහලේ කොව්ඩ් ඇතුළත් කරගැනීමේ වාට්ටුවය.  මේ ගැන කතා කරන්නට රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා දුරකථනයට එන්නේත් නැත. සියලුම ප්‍රධාන රෝහල්වල තත්වය මෙයය.

කොවිඩ් රෝගීන් ඇතුළත් කරගන්නා වාට්ටුව 

මේ තරම් ගර්හිත තත්වයක් තුළ රෝහල්හි නිසි කළමණාකරණයකින් යුතුව රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට සියලුම සැලසුම් සකස් කර ඇති බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියන්නේය. ඔහු රෝගීන් සහිත ඇඳන් ගණන කියන්නේය. හිස් වී ඇති ඇඳන් ගණන වාර්තා කරන්නේය. ආසාදනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල කළමනාකරණය කරගන්නා ආකාරය ගැන යන්නේය.  මේ වයසක මනුස්සයා ගැන අනුකම්පා කරනවාට වඩා වැඩි දෙයක් මේ අවස්ථාවේදී කළ යුතු නැත්තේ ඔහු මේ කරන්නේ තමන්ගේම හෘද සාක්ෂියට එරෙහි වෘත්තීය නොවන කොන්ත්‍රාත්තුවක් බැවිනි.

රොගී ධාරිතාව වැඩි වීම මෙන්ම  වේගයෙන් ආසාදනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සත්කාර සේවාවන්ගෙන් ඉවත් වීම නිසා ඇති වී තිබෙන තත්වය ඉහත වීඩියෝවෙන් කියවා ගන්නා ලෙස හේමන්ත හේරත් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතුව ඇත.

ළමා රෝහල කොවිඩ් ළදරුවන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය  සඳහන් කරන්නේ රෝහලට දරා ගැනීමට බැරි  කොවිඩ් රෝගී දරුවන් පිරිසක් දිනපතා  රෝහලට ඇතුළත් වන බවය. දැන් ඔහු රාජගිරය ප්‍රදේශයේ වෙනත් ගොඩනැගිල්ලක් තුළ රෝගී සත්කාරයන් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. වැල්ලම්පිටියෙන් ද ස්ථානයක් හොයමින් සිටින බව ඔහු පවසයි.

ජාතික රෝහලේ සියලුම කොවිඩ් වාට්ටු පිරී ගොස්ය. සාමාන්‍ය වෛද්‍ය  වාට්ටු තුළ කොවිඩ් ආසාදිත රෝගීන් පැදුරු මත දමා කොවිඩ් වාට්ටුවලට ඇතුළත් කිරීමට ගත් තීරණය නැවතුනේ එසේ කළහොත් තමන් සේවාවන්වලින් ඉවත් වන බවට රෝහල් කාර්ය මණ්ඩල වෛද්‍ය පරිපාලනයට දැන්වීමෙනි.

රට විවෘත කර ගැබිණියන් පවා සේවයට කැඳවීමට චක්‍රලේඛ ගසන්නේ රට වසංගතයේ අතිශය සංකීර්ණ අදියර තුළ සිටිය දී ය. නිසි ප්‍රවාහන සේවාවක්වත් කළමනාකරණය නොකර මිනිස්සු බල්ලන් බළලුන් සේ පටවාගෙන කොළඹ ගෙනැවිත් මේ හදන්නේ ආර්ථිකය දියුණු කරන්නට නම්  ඒ කුණුහරපයට පිළිතුරු තව සති දෙකකින් ලැබෙනු ඇත.  එන්නත් මාත්‍රා දෙක දී සියල්ල හරි යැයි කල්පනා කිරීමේ ගොංකමේ තරම තේරෙන්නට දෙසතියක් ප්‍රමාණවත්ය.

අපට කියන්නට ඇත්තේ සියලුම සෞඛ්‍ය අංශ බලධාරීන්, ජාත්‍යාන්තර තලය හොබවන විද්වත් වෘත්තිකයින්ගේ නිර්දේශ නොසලකා බලහත්කාරයෙන් සේවයට කැඳවීමේ දේශපාලන කුපාඩිකම තුළ ඇති වෛරී ස්වරූපය ඕනෑම එකෙකුට   කියවා ගත හැකි බවය. ගුරුවරුන් සේවයට කැඳවා තිබේ. දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ජාතික ගුරු අධ්‍යාපන පීඨවල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලත් එම කොවිඩ් මධ්‍යස්ථාන භූමියට පැමිණ සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේ.

මෙවැනි වසංගත අවස්ථාවක එන්නත් මාත්‍රා දෙකට වඩා වැදගත් වන්නේ මිනිස්සුන්ට අවශ්‍ය ගෞරවය සහිතව ජීවිත්වීමේ අවකාශ ලබා දීමය.   සෞඛ්‍යය පිලිවෙත් ආරක්ෂා කිරීමට අවස්ථාව සැලසෙන්නේ ඒ පරිසරය තුළය.

එහෙත්  සෞඛ්‍ය පිළිවෙත් සහිතව ජීවත් වෙන්න යැයි තවත් කිසිවෙකුට අවවාද කරන්නට ඉඩක් මුන් විසින් තබා නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාසනාවක් තිබුනොත් නොමැරි ඉඳීවි. නොමැරී හිටියොත් යළිත් මෙවැනි දේශපාලන ගොංකම් නොකිරීමට වග  බලා ගනිමු.

Exit mobile version