වෙසක් පෝය දා මිනී මැරූ අඹුසැමි යුවල කොටු වුණු අයුරු

සුසන්ත අමර බන්දු –

අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානයයි.  වෙසක් සඳ නැගී තිබිණි. එහෙත්  වයස අවුරුදු 55ක් වු  රන් මැණිකේ විජේසිංහ නැන්දාගේ නිවස කළුවරේ ගිලී ගොස්ය.

ඇයගේ පුතා මේ වනවිට පදිංචිව ඉන්නේ ගම්පහ ප්‍රදේශයේය. සැමියා බුලත්සිංහල සිය මවගේ නිවසට ගොස් සිටිය දී ඇඳිරි නීතියට කොටු වී සිටියේය. හුදකලාව සිටි මවගේ සුව දුක් විමසීමට කතා කළ පුතාට මවගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබිනි. ඔහු අසල්වැසි තරුණයෙකුට කතා කර මවගේ දුරකථනයෙන් ප්‍රතිචාර නැති බව පවසමින් මදක් විමසන ලෙස කීවේය.

උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. ඩි. එන්. කරුණාරත්න

තරුණයා ඒ අනුව රන්මැණිකා නැන්දාගේ නිවසට ගියේය. නිවස කළුවරය. කතා කළාට ප්‍රතිචාරයකුත් නැත. එහෙත් නිවසේ දොර අඩවන් වී තිබේ. දොර තල්ලු කරගෙන ඇතුළට ගොස් ජංගම දුරකථනයේ එළියෙන් ස්වීචය සොයාගෙන විදුලි පහන දැල්  වූ විට දුටු දෙයින් ඔහු තිගැස්සුනේය. රන් මැණිකෙ නැන්දා බිම වැටී මියගොස් සිටියාය.


“ අයියෙ… නැන්දා වැටිලා ඉන්නවා. මම හිතන්නෙ කරදරයක්…“

අනතුරුව ගමම ඇහැරුණේය. එහෙත් කොවිඩ් ඇඳිරි නීතිය අතරේ කළ හැක්කක් නැත. තත්වය මොනතරම් ඛේදනීය  ද යන්න වැටහෙන්නේ  07 වනදා රාත්‍රීයේ සිදුවු මරණය පිලිබඳව උහන පොලිසිය වෙත  තොරතුරු ලැබෙද්දි   08 වනදා දහවල්  දෙකට පමණ වීමෙනි.

නැගෙනහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ මග පෙන්වීමෙන් අම්පාර ජේෂ්ඨ පොලිස්පති අයාෂ කරුණාරත්න, අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක සහ අම්පාර කොට්ඨාශ 02 භාර පොලිස් අධිකාරි ටි. එම්. ජයරත්න  යන නිළධාරින්ගේ මග පෙන්වීමෙන් උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. ඩි. එන්. කරුණාරත්න  ඇතුලූ නිළධාරින් විසින් පොලිස් පරික්ෂණ ආරම්භ කළහ.

රන්මැණිකා වැටී මිය ගිය ස්ථානයේ විදුලි පේනුවක් ගැලවී තිබිණි. දුටුවනම පෙනෙන්නේ විදුලි සැර වැදීමක් ලෙසය. එහෙත් මේ දුටු දෙයින්ම සිදුව ඇත්තේ විදුලි සැර වැදීමක් නොව මිනී මැරුමක් බව පොලිසියට තහවුරු විය. විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු සිද්ධිය වූ ස්ථානය විමසා විදුලි සැර කාන්දු වීමක් නොමැති බව තහවුරු කළේය. ඒ අනුව පොලිස් නිල   සුනඛ  අංශය ඇඟිලි සළකුණු ලබා ගැනිමේ නිළධාරින් සහ පොලිස්  අපරාධ ස්ථාන විද්‍යාත්මක පරික්ෂා කිරිමේ අංශයේ නිළධාරින් පැමිණ පරික්ෂණ ඇරඹූහ.   අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් හංසදේව සමරදිවාකර ස්ථානීය පරීක්ෂාවක් කර දේහය අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා අම්පාර රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි දුල්ශි අප්පුහාමි   වෙත යොමු කළේය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී  සිදුව ඇත්තේ මිනිමැරුමක් බව තහවුරු විද්‍යාත්මකව තහවුරු විය.

පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීය. කොවිඩ් අතරේ සිදුවූ මෙම මිනී මැරුම පිළිබඳ ඇසින් දුටු සාධක සොයා ගැනීම පහසු නැත. මේ අතර පොලිසියට වෙනස් ආකාරයේ තොරතුරක් ලැබිණි. එනම් රන්මැණිකේ දුරකථන ඇමතුමක සිටි අවස්ථාවක එම ඇමතුමේ සිටියදීම පුද්ගලයෙකු කතා කළ බවත්, ඔහු පැමිණ තිබුණේ ඇගේ කඩයෙන් හදිසියේ යමක් මිලදී ගන්නට බවත්, ඔහු චතුරංග නැමැත්තෙකු බවත් දුරකථනයේ එහා කෙළවරේ සිටි තැනැත්තාට ඇසී තිබීමය.

ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ  පොලිසියට මේ නම සහිතව ගමේ සිටිනා එක්තරා පුද්ගලයෙක් ගැන සැක සිතිනි. ඔහු පෙදරේරුවෙකි. මේ තැනැත්තාට එරෙහිව පවරා තිබූ මත්ද්‍රව්‍ය නඩු 10 කින් 07ක නඩු තවමත්  උසාවියේ  ඇසෙමින් තිබිණි. වසර 6 ට පෙර බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනා ලබා පසුව ඒ තැනැත්තියව විවාහ කරගත් තැනැත්තෙකි.  මුලින්ම පොලිසිය මේ පුද්ගලයාත් ඔහුගේ බිරියත් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගියේය.

මුලින් කිසිම දෙයක් ගැන නොපැවසූවත් පසුව චතුරංග නැමැත්තාගේ බිරිය අපරාධය  හෙළි කිරීම ඇරඹුවාය. ඒ ඔස්සේ ප්‍රශ්න කිරීම ආරම්භ කළ විට අපරාධකාරයාට මුනිවත රකින්නට නොහැකි විය. ඔහු පොලිසිය හමුවේ සියල්ල පාපොච්චාරණය කළේය.

“ මමයි ගෑණියි දෙන්නම තමයි රන්මැණික නැන්දගෙ කඩේට ගියේ. අපි එහෙට ගියෙම මේ මනුස්සය මරල හරි ගෙදර තියන දෙයක් අරන් එන්න. ළමයට අසනීපයි, පැනඩෝල් ගන්න කියලා ගෑණියි මමයි දොර ඇරගත්තා. ඊට පස්සේ උන්දැගෙ බෙල්ල මිරිකුවා. උන්දැ කෑ ගහනකොට මගෙ ගෑණි උන්දැගෙ මූණ කොට්ටෙන් තද කළා.  ඊට පස්සෙ ගෙදර තිබුණු සල්ලි හෙව්වා. පර්ස් එකේ  රුපියල්  හත් සියක් තිබුණා.

ඒක  අරගත්තා.  පුටුව උඩ  බෑග් එකක තිබි තවත් රුපියල් තුන් දහස් තුන් සියයක්  තිබුණා. ඒක ගත්තා.  ෆෝන් දෙක ගත්තා… ගෙදර සල්ලි එකතු කරලා තිබුණු  කැටයක් තිබුණා.  ඒකත් අරන් ෆ්‍රිජ් එක ඇරියා. කුකුළු මස් කැබලි දෙකක් තිබුණා.  එළවලූ තිබුණා. ඒවත් එක්ක හාල් පොල් තෙල් කිරි පිටි වගේ ජාති ටික ඔක්කොම පෝර උරයකට දාලා ගෙනත් රෑම චිකන් හදන් බත් කෑවා.  අම්ම නිදියගෙන හිටියෙ. උන්දැටත් ඇහැරවලා කන්න දුන්නා. “

ඔහු කියාගෙන ගියේය. පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසු නිවස පසුපස වළ දමා තිබූ රන්මාලය, මුද්ද, සහ ජංගම දුරකථන දෙක සොයා ගත හැකි විය.

අඹූ සැමි යුවළක් එක්ව සිදු කල අපරාධයක  සුල මුල ඒ අකාරයෙන් දින 07 යන්නට මත්තෙන් සොයා ගන්නට පොලිසියට හැකි විය. මේ අපරාධයේ සුලමුල හෙළි වන්නේ කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන අතරය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. ඩි. එන්. කරුණාරත්න සහ අපරාධ අංශයේ ස්ථානධිපති උ. පො.ප. නිමල් ජයලත්, කාන්තා පොලිස් අංශයේ ස්ථානාධිපති  කා.පො.සැ. ( 5694) ෂර්මිලා ගාල්ලගේ, පොලිස් සැරයන්වරුන් වන (61993) රාජපක්ෂ, ( 39484)  බංඩාර, (76240) චාමර,  පො. සැ.(16067) කුමාරසිංහ සහ පො.කො. රි.( 17789) නිශ්ශංක යන නිළධාරි  අපරාධය හෙළි කරගැනීමට කටයුතු කළහ.

 

Exit mobile version