දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න - (තුන්වන කොටස)

මෘදු කුසලතා ජීවිතය පවත්වාගෙන යෑමේදී කෙතරම් වැදගත් වේදැයි පළමු ලිපි දෙක කියවීමෙන් ඔබ වටහා ගන්නට ඇති. එසේම මෘදු කුසලතා පුහුණු කිරීමට හොඳම කාලය ළමා විය බව ඔබ ඒ සමගම තේරුම් ගන්නට ඇති. පුද්ගලයකුගේ ළමා වියේ ඉගෙනුම් පසුකාලීනව කෙතරම් ඔහුගේ ජීවිතය ඔපමට්ටම් කරමින් ආලෝකමත් කරන්නේද යන්න ඔබට තේරුම් යන්න ඇති.

මෙම ලිපියෙන් පුද්ගලයා සතුවිය යුතු තවත් වැදගත් මෘදු කුසලතාවක් පිළිබඳ කතා කිරීමට අදහස් කරමි. ධනාත්මකභාවය මෘදු කුසලතාවයයි.

ධනාත්මක භාවය


මිනිසකුගේ ජීවිතය සතුටින් ගලාගෙන යෑමට සහ ඉලක්ක හඹා යෑමට සහ තෘප්තිමත්ව ජීවීතය ගත කිරීමට අත්‍යාවශ්‍යම ජීවන කුසලතාවක් මෙන්ම මෘදු කුසලතාවක් ලෙසද ධනාත්මකභාවය හෙවත් ධනාත්මක චින්තනය  හඳුන්වා දිය හැකියි.

ධනාත්මකභාවය යනු කුමක්ද?. සාමාන්‍ය ව්‍යවහාරයෙන් ධනාත්මකභාවය හඳුන්වා දිය හැකි හොඳම ආකාරය නම් පුද්ගලයා තමා සතු සම්පත් කෙරෙහි ඇති තෘප්තිමත්භාවය සහ ජීවිතය පිළිබඳ සුබවාදී ආකල්ප සහිත වීම බවයි.

එසේම ධනාත්මක චින්තනය යනු චින්තන ක්‍රියාවලිය වර්ධනයේදී පෙන්නුම් කරන ඉහළ අවධියක් වන අතර එය පුද්ගලයෙකු තමා  වටා ඇති සෑම දෙයකින්ම ප්‍රයෝජන ගැනීම මත පදනම් වේ. පුද්ගලයෙකුට තම ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඔහු තමා විසින්ම එය ආරම්භ කළ යුතුය. එම ආරම්භයේදී ඔහු තමා සතුව ඒ මොහොතේ ඇති සම්පත් පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුය. එපමණක් නොව එය නිසි කළමනාකරණයකින් යුතුව භාවිතා කිරීමට දැනුමක් තිබිය යුතුය.

ධනාත්මක චින්තනය පුද්ගලයෙකුට අත්කර දෙන වාසි සහගත අවස්ථා අතර අත්හදා බැලීම්, නව තොරතුරු ලබා ගැනීම් සහ ඔහු වටා ඇති ලෝකයේ අමතර අවස්ථාවන් පිළිගැනීම් දැක්විය හැකිය. පුද්ගලයා නිරන්තරයෙන් වඩාත් ආරක්ෂාකාරී පසුබිමක් වෙනුවෙන් පරිණාමය වන අතර කිසිදු බියකට ඔහුව වැළැක්වීමේ හැකියාව නැත. ධනාත්මක දේ කෙරෙහි අවධානය යොමු වී ඇති හෙයින්, අසාර්ථක වූ විට පවා, පුද්ගලයෙකු තමාටම ප්‍රතිලාභ සොයා ගන්නා අතර අසාර්ථක වීමේදී තමා ඉගෙන ගත් දේ ගණනය කරයි.

ධනාත්මක චින්තනයක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණ ඔහු වටා ඇති සෑම දෙයකම ධනාත්මක බව පමණක් දකින පුද්ගලයෙකුට පහත පරිදි සංලක්ෂිත විය හැකිය. සමහර විටෙක මෙය ආත්මාර්ථකාමී ලක්ෂණ ලෙස ඇතැමෙකුට පෙනෙන්නට හැකි නමුත් ධනාත්මක චින්තකයා සෑමවිටම සර්ව සුභවාදීව සිද්ධි සහ අවස්ථාත් භෞතික ලෝකයත් දෙස බැලීමත් මෙයට හේතුවක් විය හැකිය.

මේ අයුරින් තමන් කරන සැලසුම් මගින් රැකියාව හෝ  ව්‍යාපාරය හෝ සාර්ථකත්වයේ හිණිපෙත්තට ගෙනයන්නට සමත් වුවද නොවැළැක්විය හැකි හේතුවක් නිසා අවසාන නිෂ්ඨාවට ළඟාවීමට නොහැකි වුවහොත් තවත් ගමනක් නැති තැනක සිරවීමක් සිදු වුවහොත් ධනාත්මක භාවය ඇති පුද්ගලයා එතැන ලැගුම් ගන්නේද තෘප්තිමත් හැඟිමෙනි.

ධනාත්මක චින්තනයට සෞඛ්‍ය පුර්ණ පරාසයකින් සහසම්බන්ධ වෙයි.

මේ අයුරින් වැඩිහිටි වියේදී පුද්ගලයකු ධනාත්මකබවකින් යුතුව ජීවිත හිණිමග ඔස්සේ ඉහළට නගින්නේ කෙසේදෑයි ඔබ විමසා බලා තිබේද? ඔබ ඒ ගැන සිතන්නේ කුමන ආකාරයෙන්ද?

සත්‍ය වශයෙන්ම මෙම දේවලින් ජීවිත සාර්ථකත්වයට දායකත්වය ලැබෙනුයේ ඉතාම සුළු ප්‍රතිශතයක් බව ලෝකයේ සතුටින් සිටින යුක්ති සාධාරණත්වයෙන් යුතු දියුණුවක් ලැබූ මිනිසුන්ගේ ජීවිත විවිරණය කරන විට පෙනී යයි. මුදල් උපයන , කීර්තිය උපයන සැවොම සතුටින් යුක්තිධර්ම මත සිටිනවා යනුවෙන් සහ ඔවුන් දියුණු අය යනුවෙන් වූ වැරදි සහගත ආකල්ප නිසාත් මුදලට ලැබුණු අනිසි වටිනාකම නිසාත් මිනිසාට අනුපමේය ලෙස උපකාරීවන බොහෝදේ මිනිසාම අහිමි කරගනිමින් සිටින යුගයක අපි ජීවත් වෙමින් සිටිමු.

එමනිසා මේ ආරම්භය ලැබෙන්නේ ළමා වියේදීය. සමාජානුයෝජන ක්‍රියාවලියේදීය. බුද්ධී සංවර්ධන හසුරු කුසලතා දරුවා වැඩියෙන් අත්දැකීම් කළ තරමටය. සදාචාර සංවර්ධනය එදිනෙදා චර්යාවක් වූ තරමටය,  පරිසරබද්ධ ජීවියෙක් ලෙසින් බාල කාලය ගත කළ තරමටය. අභියෝගවලට විවෘත වූ තරමටය. අරපරෙස්සම සහ අවම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරු උගත් තරමටය. අධිපරිභෝජනයෙන් වැළකුණු තරමටය. සමවයස් කණ්ඩායම් සමග සම්බන්ධතාවලට යොමුවන ක්‍රීඩා සහ සෞන්දර්යාත්මක ඉසව් බහුල වූ ජීවිතයක් තිබූ තරමටය.

අපේ දරුවන්ට ලැබෙන්නේ මොනවා ද?

ඉහත සෑම සංසිද්ධියකදීම ආදරය ආරක්ෂාව සහ පිළිගැනීම (අගය, ප්‍රශංසා කිරීම්) සහ නිවැරදි  මාර්ගෝපදේශනය මව්පිය වැඩිහිටියන් ගුරුවරුන්ගෙන් ලැබුණු තරමටය.

සිතා බලන්න  අද අපේ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලයේ ලැබෙන ජීවිතය ගැන. ඉහත කිසිවක් ඔවුන්ගේ ජීවිතයට ධනාත්මක චින්තනය වර්ධනය වන ආකාරයෙන් අප අතින් නොලැබෙන බව සැබෑ සත්‍යය නෙවේද?. සමහරවිට අපට මේවා මගහැරෙන්නට හේතුව අප තුළ ඒවා එතරම් වැදගත් බව නොදන්නා කම නොවේද?.

මා වෙත දරුවෙක් රැගෙන පැමිණි මව්පිය යුවළකගෙන් පියා සිය දරුවා පිළිබඳ කතාකරද්දී මා වෙත මෙවන් කතාවක්ද පවසන ලදී.

“ පුතා එයාට යමක් ලැබුනම පුංචි කාලෙ ඉඳළම ‘පින් සිදුවේවා‘ කියන්න පුරුදු වෙලා හිටියා. ඒත් නෝනා පුතාට බැන්නා  ‘මොන ගොඩේ කතාවක්ද ඒක. තැන්ක් යූ කියන්න පුරුදු වෙන්න’ කියලා.”

‘ස්තූතියි’ කීම ද ඉතා යහපත් බව සැබෑය. එහෙත් එයට වඩා යමක් දෙන්නාට ’පිංසිදුවේවා’ කීමෙන් නොලැබෙන්නේද?. පිංසිදුවේවා කීම වැළැක්වූවත් එය ගොඩේ යනුවෙන් හැඳින්වීම තුළ දරුවාට බෙදීමක් පෙන්නුම් කරන අයුරු ඔබ දුටුවාද?. එපමණක් නොව පින්සිදුවේවා කීම තුළ ගැබ්වන සංස්කෘතිකාංගය දරුවාගෙන් බැහැර කළ බව ඔබට දකින්නට ලැබුණාද?.

ඒ අයුරින් වර්තමාන දරුවන් දැනුම් ගබඩා  මිස ඉගෙනුම් කෙතක් වී නොමැත. එමනිසා වැඩිහිටි වියේදී ප්‍රශ්න අභියෝග හමුවේදී ඔරොත්තුදීමට දරාගැනීමට නොහැකිව උසස් අධ්‍යාපනයේදී රැකියාවේදි විවාහයේදී පීඩාවට පත්වෙති. එබඳු දරුවන් රාශියක් උපදේශනයට යොමුවන අයුරු අත්දැකීම් ඇත.

අප විසින් කළ යුත්තේ කුඩා වියේදීම මෙම කුසලතා දරුවන්ට ලබාගත හැකි පරිසරයක දරුවා හදාවඩා ගැනීමයි. නිදසුනක් ලෙස යම් හොඳ දෙයක් ලබාගැනීමට බලා සිටිය යුතු බව, ඉවසා සිටිය යුතු බව අත්දැකීම් මගින් පෙන්වා දිය යුතුය. හොඳ දේවල් ලබන්නට නම් හොඳ දෙයක් කළ යුතු බව පෙන්වා දිය යුතුය. පිච්ච මල කොතැනක පිපුනද වර්ණය සුවද පෙති ගණන අඩුනොවන්නා සේ යහපත් මිනිසුන් කොතැනක සිටියත් කුමන තනතුර දැරුවත් මිනිස්කමට ගෞරවයක් වන ප්‍රතිපත්තිවලින් සුසැදි බවත් සත්පුරුෂ ගුණයෙන් සුවඳවත් බවත් පෙන්වා දෙන්න.

ලෝකයේ වටිනාම දේ මිනිස් සබඳතායි

එසේම වඩාත්ම සතුටු විය හැක්කේ මිතුරන් සමග ආදරයෙන් සුහදව බෙදාහදා ගනිමින් කාලය ගතකිරීමෙන් මිස තනිව ක්‍රීඩා භාණ්ඩ රාශියක හිමිකරුවා වීමෙන් නොවන බව පෙන්වා දෙන්න. සෑම දෙයකම ඍණාත්මක අසුබ දේවල් මතුනොකර ඒවායේ අඩංගු සීමිත වූ හෝ යහපත් දෑ සමග ගනුදෙනු කරන ආකාරය පෙන්වන්න. අරපරෙස්සම හොඳින් පෙන්වා දෙනවා සේම බහුභාණ්ඩික විම මනසට ඇතිකරන විඩාව පෙන්වන්න.

තමාට අවශ්‍ය දේ පමණක් තෝරාගෙන ඉතිරිය අවශ්‍ය අයට තෝරාගන්නට ඉඩ තැබීමේ මනුසත් ගුණය පෙන්වා දෙන්න. තමාට යම් තරගයක ජයග්‍රහණය අහිමි වූයේ තමා දුර්වල නිසා යැයි සිතන්නට ඉඩනොදී ඔහු දක්ෂ බව පෙන්වන්න. නමුත් ඊට වඩා දක්ෂතා ඇත්තකු තරගය ජයගත් බවත් ඔහුට සුබපතා තම දක්ෂතා වර්ධනය කරගත යුතු බවත් පෙන්වා දෙන්න.

ලෝකයේ වටිනාම දේ මිනිස් සම්බන්ධතා බවත් ඒ සම්බන්ධතා ගෞරවය සාමය සහ ආදරය පෙරටු කොට පවත්වාගෙන යායුතු බවත් දරුවාට ආදරෙන් කතාන්තර සහ අත්දැකිම් ආශ්‍රයෙන් පෙන්වා දෙන්න. ලෝකයේ හොඳම පාලකයා හැඟීම් පාලනය කරගත් තැනැත්තා බව කියා දෙන්න. විවිධ මත, විසංවවලදී අන් මත ඉවසීමටත් සැබෑ නිවැරදි මතයට එකඟවීම අවනත වීම හෝ පිළිගැනීම වැදගත් බවත් බහුතර මතය තමාගේ මතය නොවේ නම් ඉවසා දරාගත යුතු බවත් පෙන්වා දෙන්න. අධ්‍යාපනය සහ ශික්ෂණය එකට යායුතු බව පෙන්වා දෙන්න. ‘විනයෙන් තොර දැනුම විනාශය ගෙන දෙන’ බව උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න.

ධනාත්මක චින්තනය යනු සිතෙහි මවා ගන්නා සිතුවිලි රටාවක් දෙස බලාගෙන සිතමින් සිටීම නොවේ. එය අලුත් සංකල්පයක් ග්‍රහණය කරගෙන ඒ ඔස්සේ අපේක්ෂිත නිෂ්ඨාව කරා යෑම සඳහා මේ මොහොතේ තමා සතුව ඇති සම්පත් ආත්ම විශ්වාසයෙන් යුතුව භාවිත කරමින් කරන ධාර්මික චාරිකාවක් බව වටහා ගත යුතුය. චාරිකාව ධාර්මික නොවුයේ නම් පසුව හෘද සාක්ෂියේ  ඇතිවන තැවිල්ල ඔබව පීඩාවට පත්කරනු ඇත. අපගේ ධනාත්මක චින්තනය තුළ අප පමණක් නොව සමස්ත ලෝකයම ඇති බැවින් අනුන් රිදවා පෙළා මරා උදුරාගැනීමෙන් ලබාගත හැකි ජයක් අපට තිබිය යුතු නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමනිසා මෘදු කුසලතාවල අනෙක් සෑම ගුණාංගයක් කෙරෙහිම ධනාත්මක චින්තනයේ සුසැදි රටා සැරිසරන අතර ධනාත්මක චින්තනය ඒ සියල්ල හසුරුවන ප්‍රධාන බලවේගය ලෙස පෙන්වා දිය හැකිය. එබේ දරුවාට මේ ගුණය මනාසේ පිහිටුවන්නට කටයුතු කරන්නට නම් ඊට පෙර ඔබ සුබවාදී ආකල්පයන්ගෙන් හෙබිවීම වැදගත් බව මතකයේ රඳවාගන්න.

 

Exit mobile version