ජීවත්වන්න යුහුසුළු වන්න… ඔබ ආදරය කරන ඔබේ ප්‍රියයන් නොදන්නා ඕනැම මොහොතක ඔබ හැර යා හැකියි!

Love

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

සිය බිරිඳ හදිසි අනතුරකින් මාස පහකට පෙර මියගිය සැමියෙකු වියෝ වේදනාවේ දරුණු පීඩා සමග  මා හමු වූයේ පුතුන් දෙදෙනා සමගයි. ඔහු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව සිටියේය. විශාදය රෝගය ඔහුව පීඩාවට පත් කරමින් සිටියේය.

බිරිඳ මියගිය පුවත අසා දුකට පත් හෙතෙම ඇගේ දේහය දකින්නටවත් කැමති නුවූ බැවින් ඔහු නොදැකම ඇයගේ දේහය මිහිදන් කිරීමට දරුවන්ට සිදුවිය.

සැමියා දුක හෙමින් මා ඉදිරියේ පිටට දැමුවේය.

” අපි පුදුම ආදරෙන් හිටියේ. හැම දේම කළේ එකට. එයාට අනතුර වෙන්න සුලු මොහොතකට කලින් මාව කන්තෝරුව ළඟදී හමු උනා. මං රාජකාරි වැඩකට පාරෙ අනිත් පැත්තට ගියා. එයා ඉදිරියටම ගියා. මං වයිෆ්ට හැමදාම කිව්වෙ , ඔයා මැරෙන්න විනාඩියකට කලින් මං මැරෙන්න ඕන කියලා. ඒත් එයා විතරක් ගියා”


” ඔබ බිරිඳ මැරෙන්න විනාඩියකට කලින් මැරෙන්න ප්‍රාර්ථනා කළා?”

මම ඇසුවා

” ඔව් ”

” එතකොට දැන් ඔබේ බිරිඳ මියගිහින්. ඔබත් ඊට විනාඩියකට කලිං මියගියා නම් දරුවො දෙන්නට මොකද වෙන්නෙ?”

ඔහු නිරුත්තර උනා

” හදිසියේවත් තමා කළිං මැරුණොත් ඔබත් ඒ එක්කම මැරෙයි කියලද බිරිඳ විශ්වාස කළේ , නැත්තම් ඇයට  කරන්න බැරි වුනු ඉතුරු කොටසත් කරලා දරුවන් ආරක්ෂා කරයි කියලද විශ්වාස කළේ”

” දරුවො ආරක්ෂා කරයි කියලා මැඩම්”

” ඉතිං ඔබ ඒ කාර්‍යය පටන් ගන්න හිතන්නෙ කවදද”

ඔහුගේ දැස් මොහොතකට විසල්විය. මා ඇසූ ප්‍රශ්න දෙක ඔහුගේ අභ්‍යන්තර ඥානය කැළඹූ බව දෙනෙතින් දිස්විය.

ඒ කෙසේ වෙතත් දැඩි ශෝකය සහ විශාදය පිළිබඳ අවදානම හේතුවෙන් විශේෂඥ මනෝ වෛද්‍යතුමන් වෙත යොමු කළෙමි.

ඒ පුතුන් දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මට  කීවේ මෙවැන්නකි.

” මගෙ අම්මා නැතිඋනාම මල් ශාලාවෙ ඉඳලා හැම දෙයක්ම කරන්න උනේ මට. මල්ලි පොඩි නිසා එයා තාත්තා ළඟ හිටියා. නෑයො උදව්වට ආවෙ නෑ සල්ලි වියදම් කරන්න වෙයි කියල. ඒ උනාට අපිට සල්ලි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.”

“මගෙ යාලුවො එනකොට හුඟක් වැඩ ඉවරවෙලා තිබ්බෙ. ඒ වෙලාවෙ මට දැනුනු තනිකම මට කවදාවත් දැනිලා නෑ.  මල්ලිටයි මටයි තාත්තටයි අම්මා එහෙම දැනෙන්න දුන්නෙ නෑ.”

“ මං රගර් සෙල්ලම් කරනව. ඒ නිසා මට තාම මේක දරාගන්න පුලුවන්. ක්‍රීඩාවෙන් මට ලොකු ශක්තියක් ලැබෙනවා මේකට මුහුණ දෙන්න. ඒත් මට රෑ එකට විතර ඇහැරුනාම ආපහු නින්ද යන්නෙ නෑ. මට අමාරුම මැඩම් හවස ගෙදර එනකොට අම්මා ගෙදර නැති බව මතක් වෙනකොටයි.”

( ඔහු කඳුළු පිස දමයි. මල්ලී අයියාගෙ අත අල්ලා ගෙන අතට මුදු තට්ටුවක් දමයි. )

ඔබට ආදරෙන් කියමි.

අපගේ ඥාතීන් ඕනෑම මොහොතක මෙළොවට ඇති නෑකම් අතහරින්නට ඉඩ තිබේ. අපද එසේ කරන්නට ඉඩ තිබේ.

එනිසා ජීවත්වීමට යුහුසුළු වන්න. පවුලේ අය සමග නිවස ආදරයේ තෝතැන්නක්  කරගන්න. සියවසක අවුල්කාරී යුගදිවියට වඩා ඉතා ආදරෙන් සතුටින් ගෙවූ දසවසක් බොහෝ වටී. ජීවත්වන්නවුන්ට ඒ ප්‍රිය මතකයන් රැගෙන ඉදිරි ජීවිතය ගෙන යා හැකියි.

මම නොවිමසාම ඒ පුතු දුරකථනයේ තිරයේ ඇති සිය මවගේ පින්තූරය මට පෙන්වීය.

තාත්තා රැකගන්නට අවශ්‍ය උපදේශනය ඔවුන් මගෙන් ඉල්ලා සිටියේය.

ඒ යහපත් පුතුන් දෙදෙනාත් පියාත් ඔවුන් අත් හැර ගිය අම්මාට, බිරියට ආත්ම ශාන්තියක් ගෙන දෙන අයූරින් දිවිගෙවනු ඇතැයි සිතෙන මානුෂීය බවක් මා ඔවුන් කෙරෙන් දුටිමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම වේවා !!

 

 

Exit mobile version