ඔබේ කෝපය උපදවා ගන්නේ ඔබය…  ඉන් දැවී නොයන්න

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

බොහෝ දෙනා උපදේශනයේදීත් ඉන් පිටතදීත් මගෙන් නගන ප්‍රශ්නයක් නම් තමන්ට ඇතිවන අධික කෝපය පාලනය කර ගන්නේ කෙසේද යන්නයි.

ඔවුන් සියලු දෙනාම ඔවුන්ට ඇතිවන අධික කෝපය නිසා සිය රාජකාරි ජීවිතයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් විවිධ ගැටලු නිර්මාණය කරගෙන සිටී. ප්‍රධාන වශයෙන්ම ඔවුන් පැවසූ කාරණාව නම් තමන් නිකරුණේ කෝප ගන්නවා නොව අනිත් අය ඔවුන්ගේ කෝපය අවුළුවන බවය. ඔවුන් මට පැවසූ ඔවුන්ගේ කෝපය අවුළුවන්නා වූ කණ්ඩායම නම් සැමියා, බිරිය, දරුවන්, නැන්දම්මා, රාජකාරි සගයන් සහ ගමනාගමනේදී හමුවන පොදු හා පෞද්ගලික වාහන රියැදුරන්,  කොන්දොස්තරවරුන් සහ දේශපාලනඥයන් ආදියෙන් සමන්විත විය.

ඉහත කණ්ඩායම නිසා තමන් කෙතරම් සන්සුන්ව, සැහැල්ලු සහ  සාමකාමී සිතින් දවස අරඹා ,ගෙවා ,අවසන් කරන්නට උත්සාහ කළත් එය නොහැකිවීමෙන් දැඩි මානසික ආතතියකට පත්ව සිටින බව පවසන ලදී.


මෙ අයුරින් බලන කළ පුද්ගලයාගේ කෝපය අවුළුවන කණ්ඩායම තුළ මේ සමාජයේ වෙසෙන සෑහෙන කණ්ඩායමක් සිටින බැව් පෙනේ.Angery

ඔබ හොඳින් සිතා බැලුවහොත් විටෙක ඔබ ද මේ කණ්ඩායමේ සාමාජිකයකුව අන් අයගේ කෝපය අවුළුවා ඇති බව වැටහේවී. එසේ නම් අප ද අන් අයගේ කෝපයේ කොටස්කරුවන් වී ඇත. මේ කාරණය සිතන්නට පිළිගන්නට බොහෝ දෙනා මැළිවෙති. සෑම කෙනෙක්ම තමන් ගැන සිතා සිටින්නේ තමන් අතින් එවැනි දේ කිසි විටෙකත් සිදු නොවන බවය. නමුත් ඔබ අද සිතන්නට උත්සහ කරන්න, අන් අය ඔබව කෝප කරනවා සේම ඔබද අන් අයව කෝප කරන්නේ යැයි, ඔවුන් සිතා සිටින බව.

එහෙත්, මෙහි ඉතා වැදගත් කාරණය නම් ඔබ කෝප වන බව ඔබ දැන සිටීමය. ඔබ එය පිළිගැනීමය. එසේම ඉන් මිදීමට ඔබට අවශ්‍ය වීමයි.

එසේ නම් අප කළ යුත්තේ කුමක්ද?

ඔබ කෝපයට පත්වන ආකාරය දෙස මදක් නිසොල්මනේ සිතා බැලීමය. ඔබට හැකිනම් ඒවා කොළයක සටහන් කරන්න.

මේ මා මගේ සේවාලාභීන් සහ වෙනත් අය, ඔවුන්ගේ කෝපයට හේතුවෙනවා යැයි මට පැවසූ කාරණා කිහිපයකි.

ඉහත කාරණා දෙස බලන්න. මේ කාරණාවලින් බහුතරයක් ඔබට පාලනය කළ නොහැකි දේවල් නොවේද?.  ඔබ කැමති වුවත් නොවුවත් සිදුවන දේවල් නොවේද?. එසේ නම් එවන් කාරණාවන්ට  කෝපවීමෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද?. එකම ප්‍රතිඵලය නිතර නිතර කේන්ති ගැනීමෙන් ඔබගේ කායික මානසික තත්වය පිරිහී යෑමයි.

පාලනය කළ නොහැකි දේ සමග කෝපවීමෙන් වළකින්න…

තමාට පාලනය කළ නොහැකි බාහිර හේතු සමග කෝපවීම අතහරින්න. ඒවාට තියෙන්නට හෝ යන්නට ඉඩ හරින්න. ඒවා ඔබගේකර ගන්නට නොයන්න. උදාහරණයක් ලෙස මහමගදී ඇතිවන සිද්ධි, පොදු ප්‍රවාහන සේවාවල සේවකයන්ගේ ආකල්ප සහ ක්‍රියා ඔබට පාලනය කළ නොහැකිය. ඔවුන් සමග ගැටීමට යෑම අනවශ්‍ය ප්‍රශ්නයකට මුල පිරිමකි. ඒවා අතහැර දමා ඒ මොහොතේ වෙනත් සිතුවිල්ලක් සිතට නගා ගන්න. ඔබගේ රාජකාරියක්, හෝ ඔබගේ වෙනත් වැදගත් දෙයක් මෙනෙහි කරන්න.

මා වෙත පැමිණි තරුණ කාන්තාවක් පැවසුවේ ඇයට පොදු ප්‍රවාහන සේවා රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන කෝපය පීඩාව මුලදී ඉවසා ගත නොහැකි වූ බවයි. එමනිසා ඇය පොදු ප්‍රවාහන සේවයේදී හෝමාගම සිට කොළඹ විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයකුව පැමිණි අවධියේ සිංහල විෂයට නියමිතව තිබූ සියලුම කවි පංති බස්රථයේදී පාඩම් කළ බවයි. නැවත නැවත මතක් කිරීම් කළ බවයි.

මෙය ඇත්ත වශයෙන්ම ඉතා හොඳ දෙයකි. බස් රථයේ වටපිට බලමින් අනෙකාගේ අඩුපාඩු දුර්වලතා සොයමින් කාලය නාස්ති නොකර තමාගේ දියුණුවට හේතුවන යමක් කිරීම පැසසුම් කටයුතුය. මන්ද රියැදුරා හෝ කොන්දොස්තර  පාලනය කිරීමට අපට නොහැකිය. එසේ නම් අප කළ යුත්තේ අපව පාලනය කරගැනීමය.

අනෙකා තමාගේ සේවය සලසන්නා නොවේ…

නිවසේදී ඇතිවන අඬදබර වලට මූලික හේතුව නම් “අනෙකා සිටින්නේ තමා වෙනුවෙන් සේවය සලසන්නටය“. “අනෙකාත් තමා මෙන්ම නිවසේ කටයුතුවලට දායක විය යුතුය“ යන අදහස හෝ “නිවසේ වැඩ කටයුතු අයිති තමන්ට නොවේ“ යන සිතුවිලි වලින් යුතුව හෝ සිටීමය. එසේම  ‘තමා සිතන පතන බලාපොරොත්තුවන ආකරයටම නිවැසියන් ජීවත්විය යුතුය ‘. “තමා නිවසට එනවිට ඉතා අලංකාර ලෙස නිවස තිබිය යුතුය“ වැනි සිතුවිලිය.

එවන් සිතුවිලි හේතුවෙන් අපට අපේම නිවස වධකාගාරයක් බවට පත්වෙයි. නිවස අඹුසැමි දරුවන් යන සියලු දෙනාටම අයිති තැනකි. එය අපූරු අලංකාර තැනක් කරගන්නට සියලු දෙනාම දායක විය යුතුය. මවට, බිරියට පමණක් එය ඉටු කළ නොහැකිය. බිරියත් රැකියාවට යන්නේ නම් සැමියා ද දරුවෝද නිවසේ වැඩ කටයුතු වලින් කොටසක් බාර ගත යුතුය.

එක්තරා අවස්ථාවක එක් තරුණ කාන්තාවක්  මා හා පැවසුවේ තමා ගර්භණීව ඉද්දීත් තමා වැඩ ඇරී එනතෙක් තමා ලවා සවස තේ එක සාදා ගන්නට සැමියා වැඩ ඇරී නිවසට විත් බලා සිටිය බවය. ඇය නිවසට පැමිණි වහාම දරුබරත්, ගමන් සහ රාජකාරි වෙහෙසත් දරාගෙන තේ සාදා දුන් බවය. තමාගේ අපහසුව නොදැනෙන සැමියා ගැන කෝපයෙන් සිටි බවය. එහෙත් උපදේශනයෙන් පසු නිවසට කළින් පැමිණී කෙනා අනෙකා වෙනුවෙන්ද තේ පිළියෙළ කරන ලදී. සැමියා කළින් පැමිණීවිට ඔහු බිරිය රැගෙන ඒමට දුම්රිය පොළ වෙත  යෑමට තරම් වගකීම් සහිත විය. මෙය බිරියට ඇති කළ අස්වැසිල්ල ඇය පැවසුවේ සතුටු කඳුළින් යුතුවය.

සමහර දේවල් අපට මග හැරෙන්නේ අප කරන්නට අකමැති නිසා නොව අප ඒ පිළිබඳව  සිතන්නට උත්සාහ නොකරන නිසාය. නැතිනම් බොහෝ යුවතිපතීහු ඉතාම සුන්දර අය වෙති.

පුංචි උපදේශයක්

ඔබට කේන්තිය පාලනයට ඉතා කුඩා උපදෙසක් දෙමි. අත්හදා බලන්න. පළමුව ඔබට පාලනය කළ නොහැකි දේ එසේ යන්නට හරින්න. දෙවැන්න ඔබට අනිවාර්යයනේම මුහුණ දීමට සිදුවන දේට මුහුණ දෙන්න. එසේ මුහුණ දීමේදී කෝපයට පත්වන්නේ නම් මෙය අනුගමනය කරන්න.

කේන්තියේ අවස්ථා තුනකි.

  1. පළමු අවස්ථාව කෝපය පැමිණෙන අවස්ථාව,
  2. දෙවැන්න කෝපයට පත්වූ විට කරන ක්‍රියාවන්,
  3. තෙවැන්න ඒ ක්‍රියාවන් නිසා ඇතිවන ප්‍රතිඵලයයි.

කෝපය පැමිණෙන, කෝපයට පත්වූ විට කෑ ගසන , බඩු කුඩුකරන, අසභ්‍ය වදන් කියන, බිරියට දරුවන්ට පහරදෙන, සැමියා දරුවන් නිවසේ දමා මව ළඟට දුවන, රාජකාරි සගයන් හා ප්‍රධානීන් හා ගැටෙන ක්‍රියාවනුත් ඉන්පසු මෙම ක්‍රියාවන් දැකීමෙන් බාහිර සමාජය ඔබ පිළිබඳව ඇති කර ගන්නා ආකල්පද යන අවස්ථා තුන ගැන හිතන්න.

මෙයින් ඔබට පාලනය කළ හැකි දෙවන අවස්ථාව පාලනය කරන්න. එම ක්‍රියාවන් කිරීමෙන් වැළකෙන්න. එසේ කර මනස සන්සුන් කරගෙන එක තැනක අසුන් ගන්න. දැන් තමා කෝපයට පත්වූ කාරණය මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් ආපස්සට ඒ කාරණය ගෙන යන්න.

නිදසුන් ලෙස :- මට බිරිය සමග කේන්ති ආවා. ඇයි කේන්ති ආවේ?, දහවල් ආහාරය සැකසීමට ඇය ප්‍රමාද උනා?,  ඇයි ඇය ප්‍රමාද උනේ?, ඇය අවදිවන්න පමා උනා?, ඇයි ඇය පමා උනේ?,  ඇය රාත්‍රියේ නිදි වැරූ නිසා?,  ඇයි ඇය නිදිවැරුවේ?,  පුතු අසනීප වූ නිසා?,  ඇයි බිරිය විතරක් නිදි වැරුවේ?,  ඇයි ඔබ නිදි නොවැරුවේ?,  ඇයි එහෙනම් කේන්ති ගන්නේ?, ඇයි ඔබ උදේ ඇයට උදව් නොකළෙ?,  ඇයි ඇගේ අපහසුව තේරුම් නොගත්තේ?,  මේ ආකාරයෙන් ආපස්සට විමසන්න.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔබට කෝපවීමට කිසිවක් අන් අය සිදු කර නොමැති බවත් ඔබේ කෝපය ඔබම සාදා ගත් බවත් වැටහේවි. එසේනම් ඉතිං! ඒ කෝපය අරුත් සුන් නොවේද? එය සාදා ගැනීම කළ යුත්තේත් ඔබම නොවේද? උත්සාහ කරන්න. ඔබට එය කළ හැකියි.

Exit mobile version