ඉල්ලූ දේ නොලැබුනොත් ගෙදර යකා නටන නිසා උපදේශනයට ගෙනා පුංචි එකා….

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන

සති දෙකකට පෙර වයස අවූරුදු හතරක සිඟිති දරුවා උපදේශනයට ගෙන ඒම ගැන මම පුදුම නොවෙමි.

සමාජය තවමත් උපදේශනය කුමක්දැයි දැනගනිමින් සිටියි.

මව මගෙන් බලාපොරොත්තු වූ උපදේශනය දරුවාට නොලැබුණි. එහෙත් මවට මගපෙන්වීමක් කළෙමි.

දරුවාගේ ගැටලුව ඔහුට අවශ්‍ය යමක් වෙතොත් එය අනිවාර්යයෙන් ඔහුට ලැබිය යුතුවීමය. එය නොදුනහොත් එය ලබාදෙන තෙක් පෙරළෙමින් නිවස දෙවනත් කරමින් හැඬීමය. අතට හසුවන දේ විසිකිරීමය. කඩා දැමීමය.


දරුවා යමක් ඉල්ලූ විට මෙම මවපියන් මුලදී ” බැහැ'” යනුවෙන් පවසයි.

එවිට දරුවා ඉහත කී අයුරින් හැසිරෙයි. ඔහුගේ කෑගැසීම දරාගන්නට බැරි තැන මව්පියන් ආච්චී සීයා වහාම ඔහු ඉල්ලූ දේ සපයයි.

දැන් දැන් ඔහුගේ ඉල්ලීම් වැඩිවෙමින් ඇත.

ඔබ සිතන්නේ කුමක්ද?

දරුවා එසේ හැසිරී තම අවශ්‍යතාව ලබාගැනීමට ඉගෙනගත්තේ කෙසේද? කාගෙන්ද?.

ඔහු එය උගත්තේ වැඩිහිටියන්ගෙනි. ඔහු ඉල්ලූ දේ ලබා දීමට මුලදී එකඟ නොවී ඔහු කෑගසා, අඬා පෙරළී කලබල කළ පසු  දෙන්නට “බැහැ” කියූ දේ මව්පියන් ලබා දීමෙන් සිදුවූයේ දරුවා තමාට අවශ්‍ය දේ ලබාගැනීමට කුමක් කළ යුතුදැයි ඉගෙන ගැනීමය.

දරුවා කරන කෑගැසීම බඩු පෙරළීම අසල්වැසියන්ට කරදරයැකැයි සිතා  මව්පියන් ඔහුගේ ඉල්ලීම සැපිරීමය.

මෙයින් සිදුවන්නේ කුමක්ද?

දරුවා වැඩෙන විට ඔහු ඉල්ලන දේවල් සංකීර්ණ වීමය.  බැරෑරුම් වීමය. එය නොදී සිටිනවිට, එය ලබාගන්නට යොවුන් දරුවා අනුගමනය කරන පියවරයන්ද බැරෑරුම් සංකීර්ණ ඒවා වීමය. සමහරු මව්පියන්ට පහරදීමටද පෙළඹෙති.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?

දරුවා ඉල්ලූ සැනින් “බැහැ” නොකියා දීමද?

කිසිසේත් නැත.

ඔබ කළයුත්තේ, දරුවා ඉල්ලන දේ දරුවාට අවශ්‍යදැයි මුලදී තීරණය කිරීමය. එය ලබා දියහැකි වත්කමක් ඔබට ඇත්දැයි තීරණය කිරීමය.

ඔබ එය දෙන්නට තීරණය කළහොත් එය දෙන බව කියන්න. නමුත් එසැනින් නොදෙන්න.

ඔහුට ඒ වෙනුවෙන් බලා සිටීමට උගන්වන්න.

“හෙට දෙන්නම්”

“ලබන සතියේ දෙන්නම්”

“නත්තලට දෙන්නම්”

ආදී වශයෙන් දෙන දිනය පොරොන්දු වෙන්න. ඒ කියන දිනට එය ලබා දෙන්න. ඔබේ වත්කමේ හැටියට භාණ්ඩය වෙනස් විය හැකි බව ඔහුට ඒත්තු ගන්වා ඔහු එකඟ කරවා ගන්න.

නමුත් ඔහු අවශ්‍ය නැති දෙයක් ඉල්ලන්නේ නම්, එය නොදෙන බව කියන්න.

නිවසේ සියලු වැඩිහිටියන් නොදෙන බව එක තීරණයක ඉන්න.

දරුවා හැඬුවොත් හඬන්න අරින්න. හැඬීම ගැන බිය නොවන්න. ඔහුගේ සෙල්ලම් බඩු කෝපයෙන් කඩා දැමුවොත් නැවත ඒවා රැගෙන නොදෙන්න.

මෙමගින් දරුවා , හැඬූ පමණින් සියල්ල නොලැබෙන බව ඉගෙන ගනී. ඔහුම හැඬීම නවතාවි.

ඔබ ඔහුට හඬන්නට පුරුදු කර ඇත්නම් මේ හැඬීම වරක් දෙවරක් තෙවරක් සිවුවරක් විවිධ දේ අරබයා කරනු ඇත. එහෙත් ඔබ “නොදෙමියි” ඍජු තීරණයක සිටියහොත් ඔහුට හැඬීමෙන් පලක් නැති බව වැටහී , ඉල්ලූ පමණින් හැඬූ පමණින් සියල්ල නොලැබෙන බව තේරුම් ගනීවි.

බලා හිඳීමට පුරුදු වේවි. මව්පියන් අවශ්‍ය දේ දෙන බවට සහ අනවශ්‍ය දේ නොදෙන බවට විශ්වාසය ඇතිවෙයි.

යෞවනයේදී, ගැටවර වියේදී ඔබට මුහුණ පෑමට සිදුවන බොහෝ කරදර අවම වේවි.

දිනක් සාප්පු සංකීරණයකදී යමක් ඉල්ලා බිම වැටී අඬන විදේශික කුඩා දරුවෙක් දුටිමි. ඔහුගේ මව ඒ හැඬීම සතපහකට මායිම් නොකර ඇයට අවශ්‍ය දේ මිළට ගෙන ඔහුට ආපසු යෑමට කතා කරද්දී දරුවා බිම හිඳගෙන ඇයට එකඟ නොවී සිටියේය. මව දරුවා දමා සාප්පුවෙන් එළියට නිසොල්මනේ යන්නට ගියාය. ආපසු හැරී දරුවා දෙස නොබලා ඇය ඉදිරියට ගියාය. ඇය යන දෙස බලා සිටි දරුවා වහාම හැඬීම නවතා  මුහුණ පිස දමමින් දිවගොස් මවගේ අතේ එල්ලුනේය.

ඉල්ලූ සෑම දෙයම විමසා නොබලා ලබාදීමෙන් ඔබ පෙන්වන්නේ ආදරයට වඩා සතුරුකමක් බව තේරුම් ගෙන දරුවාට යහපතක් වන දේම සිදු කරන්න.

ඔවුන් ජීවිතය උගත යුත්තේ ඔබගෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපදේශනයට ගෙන ආ දරුවාට ඒ නිවසේ වැඩිහිටියෝ දැන් ජීවිතය කියාදීම අරඹා ඇත.

Exit mobile version