අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

සිද්ධි අංක 1

“මගේ අම්මා මං වෙනුවෙන් ගොඩාක් දේ කරනවා. මගේ දරුවන් බලා ගන්නවා. ඔවුන් කවපොවා නහවා මං වැඩ ඇරී ගෙදර එනතුරු බලා ගන්නවා. සෙනසුරාදා ඉරිදා මං උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්කරනවා. එදාටත් ඇය මගේ නිවසේ සියලු දේ කර දරුවන් බලා ගන්නවා. ඒත් මම ඇය සමග පොඩි දේටත් රංඩු වෙනවා. ඇයට බැණ වදිනවා. මගෙ යටි හිතේ ඈ ගැන තියෙන්නෙ අමනාපයක්.  මැඩම් , මට එහෙම වෙන්න ඕන නෑ . ඒත් ඒකමයි වෙන්නෙ”. තරුණ දෙදරු මවක් මා ඉදිරියේ හඬා වැටුණේ එසේ කියමිනි අමනාපයක් දැනෙන්න ගත්තෙ කවදා ඉඳල කියලද ඔයාට මතක”

”  මං ගොඩක් පොඩි කාලෙ ඉඳල මැඩම්. මගේ නංගි ඉපදුනාට පස්සෙ අම්මා මං ගැන බැලුවෙම නෑ. නංගි හරීම ලස්සනයි. අම්මා නංගි ගැනමයි වරුණාව. මං ඉගෙනීමට ගොඩක් දක්ෂයි. ඒත් අම්මා කිව්වෙම මට නංගි තරම් හොඳට වැඩක් කරගන්න බෑ කියලා. මම ඇම්පස් ගියා , MBA එකකුත් කළා . ඒත් අම්මා නංගි ඩෙන්ටිස්ට් කෙනෙක් නිසා නංගි ගැන තමා කතා කරන්නෙ.

පොඩිකාලෙ මට අමතක වෙන්නෙ නෑ ඒ සිදුවීම , මමයි නංගියි එකම විදියෙ ගවුම් දෙකක් තාත්තට කියලා අරගත්තා. ඒකෙ කළුපාට රිබන් දෙකක් තිබ්බා පිටිපස්සෙන් බෝ එකක් ගැටගහන්න.


දවසක් අපි දෙන්න ගවුම අඳින්න යද්දි මගෙ ගවුමෙ රිබන් දෙක නෑ. අම්මා ඒක කපලා අරන් නංගි ඉස්කොලෙ යනකොට කොණ්ඩෙ ගැටගහන්න. ඇයි එයා නංගිගෙ ගවුමෙ රිබන් කැපුවෙ නැත්තෙ”

සිද්ධි අංක 2

“ මම පුංචි කාලෙ අම්මයි තාත්තයි නිතරම රංඩු වෙනවා. තාත්තා හරියට අම්මට බණිනව. අම්මා ඒ  වෙලාවට අඬ අඬ මට තාත්තගෙ වැරදි කියනව. මං ඒ නිසා පුංචි කාලෙ ඉඳළම තාත්තා එක්ක තරහයි. “

“ඒත් මට ලොකු වෙනකොට තේරෙන්න ගත්තා අම්මා , තාත්තා සමග හොඳින් කතා කරනවාට වඩා තාත්තාට තරහ යන විදියට තමා උත්තර දුන්නෙ කියලා. තාත්තාව අගය කිරීමක් දිරිගැන්වීමක් කළේ නෑ කියලා. ඒත් එහෙම තේරුණත් මට තාත්තව පෙන්නන්න බෑ. මං තාත්තා එක්ක කතා කරන්නෙම නෑ. මගේ බිරිඳ මගේ අම්මයි තාත්තයි  දෙන්න එක්ක හරිම ආදරෙන් ඉන්නව. ඇය මට කියනව පරණ දේවල් අමතක කරන්න කියලා. ඒත් මට හිත හදාගන්න බෑ”

මේ සිද්ධි දෙක ගැන ඔබට කියන්නට බොහෝ දේ මට තිබේ.

කුඩා කාලයේ දරුවන්ගේ සිත් තුළට ඔබ කාවද්දන හොඳ හෝ නරක හෝ අත්දැකීම්, හිංසන, හිත් රිදෙන වචන, ක්‍රියා දරුවාගේ ජීවිතයට පසුකාලීනව බලපෑම් කරයි.

ඔබ වැඩිදුර නොසිතා සිදුකරන වැරදි නිසා දරුවන් සිය වැඩිහිටි වියේදී දුක් විඳී.

ළමාකාලයේදී දරුවාට මිහිරි ළමාකාලයක් ලබා දෙන්නට මව්පියන් හිතට ගැනීම වැදගත්ය.

ඔබ , දරුවන්ගේ කුඩා කාලයේ ඒ අයුරින් කටයුතු කළහොත් ඔවුන් අනාගතයේ යහපත්  ප්‍රීතිමත් මිනිස්සු ලෙසින් ජීවත්වේවි. අනුන්ව සතුටින් තබාවි. අනුන්ගේ හොඳ දකීවි. ඔවුන්ට ඒ සතුට යහපත දායාද කළ මව්පියෝ ආදරයෙන් රැකගනීවි.

අපව රැක නොගත්තත් ඔවුන් හොඳි ජීවත්වීම අපට හොඳටම ඇති නේද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ලිපියේ දෙවන කොටසින් ඉහත දෙදෙනාට දුන් උපදේශනය ඔබට කීමට අදහස් කරමි.

Exit mobile version