ලකුණු වලට වැළලෙන්න ගිය නිසා වැළලුණු මහා කුඩු ජාවාරමක සුලමුල

ඉහළ නිලධාරියෙකුගේ  උපදෙස් පිට ගැඹුරු මුහුදේදි කුඩු තොගය ඇල්ලුවෙ ජාවාරම් කාර මෝරෙක්  බේරගන්න  දැයි සැකයක්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු සහ දත්තයන්වලට අනුව අපේ රටේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් ලක්ෂයකට වඩා සිටිති. වැඩිම ඒ අයගෙන් තුනෙන් දෙකක් පමණ සිටින්නේ බස්නාහිර පළාතේය. මේ අයගේ මාසික මත්කුඩු අවශ්‍යතාව කිලෝ සීයකට වැඩිය. මෙම අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ පකිස්තානයෙනි. කුඩා නෞකාවල සඟවාගෙන ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ අපේ රටට මත්කුඩු තොග ගෙන එන්නේ ද පකිස්තානුවන්ය.

එසේ මෙරටට රැගෙන එමින් තිබුණු මත්කුඩු සැඟවූ නෞකා දෙකක්ම කොවිඩ් 19 වෛරසය පැතිර යමින් තිබියදීත් නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ කළ මෙහෙයුම් දෙකකින් අල්ලා ගන්නේ පොලීසියේ සහය ද ඇතිවය. ඒ එක් නෞකාවක තිබෙන්නේ අයිස් සහ කෙටමින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000 වැඩි ප්‍රමාණයකි. අපේ රටේ ආරක්ෂක අංශයක් එක තැනකින් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන්නේද එයයි. එම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගන්නේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට මෙරට ඇඳිරි නීතිය පනවා තිබුණු මාර්තු 28 වෙනිදාය.

ඉරාණ ජාතිකයින් 09 දෙනක් සමග ගමන් කරමින් තිබුණු එම නෞකාවේ එක් ප්‍රධාන නැවතුම් පොළක් වූයේ ඉන්දුනීසියාවය. නාවික හමුදාව නම් පවසන්නේ අපේ රටටත් එම මත්ද්‍රව්‍ය වලින් කොටසක් ගොඩබෑමට නියමිතව තිබුණු බවකි. ඒහෙත් සැබෑව නම් එම නෞකාවේ තිබුණු මත්ද්‍රව්‍ය වලින් බිඳක් මෙරටට ගොඩබෑමට නියමිතව තිබී නැත. එසේම එහි වැඩි හරියක් සගවා තිබුණු කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය අපේ රටේ භාවිතා වන්නේ ද නැත. මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව මේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් තිබී ඇත්තේ ඕස්ට්‍රේලියාවටය.


දෙවැනි වැටලීම සිදුවන්නේ ඊට සතියකට පමණ පසුවයි. ඒ අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාට ලද තොරතුරකට අනුවය. එහෙත් එහි ලකුණු ලබා ගත්තේ නාවික හමුදාව විසිනි. ඒ පකිස්තානුවන් 07 දෙනෙක් සමග ගැඹුරු මුහුදේ දී හොරොයින් කිලෝ 281 ක් සහ අයිස් කිලෝ 48 ක් සමග කුඩා නෞකාවක් අල්ලා ගනිමිණි. එම නෞකාව ගැන මංජුලද සිල්වාට ලද තොරතුර ලැබෙන්නේ ඇඳරි නීතිය අස්සේය. පකිස්තානයෙන් මත්කුඩු තොගය පටවන මොහොත් සිට එය ලංකාව බලා යාත්‍රා කරන තෙක්ම මොහොතින් මොහාත මංජුල ද සිල්වාට තොරතුරු ලැබෙන්නට ගත්තේය.

මංජුල ද සිල්වා සැළසුම් කරන්නේ ගොඩබිමට එම හොරොයින් තොගය රැගෙන පැමිණි පසු ලංකාවේ ජාවාරම් කරනා මහ එවුන් ටික අල්ලා ගන්නටය. ඒ බව නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් දෙතුන් දෙනෙක්ව ද ඔහු දැනුවත් කර නාවික හමුදාවේ සහය ගන්නේ පොලිස්පතිවරයාගේ ද අනුදැනුම ඇතිවය. ඊට උඩින් ඉන්නා ආරක්ෂක ලේකම්වරයා ද මේ ගැන දැන සිටියේය. පොලිසිය නාවික හමුදාවේ සහය ඉල්ලනනේ ආරක්ෂක ලේකම් වරයා හරහාය.

මෙම මත්කුඩු වැටලීම සැළසුම් සහගතව මෙන්ම රහසිගතව දියත් කරන්නට පොලිසිය  වග බලා ගත්තේය. ඒ මෙම මත්කුඩු තොගය ලංකාවට ගෙන්වා ගත් දැවැන්ත ජාවාරම්කාර අපරාධකරු ගෙලග්‍රහයෙන් ගැනීමට  අවශ්‍ය වූ නිසාය. එහෙත් නාවික හමුදාව එම නෞකාව ගොඩබිමට එන්නට ඉඩ දුන්නේ නැත. ගැඹුරු මුහුදේදීම එම මතුකුඩු තොගය අල්ලාගන්නේ නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ අණ කිරීමකිනි.

මෙරට මත්කුඩු ජාලයේ මහා මොළයක් අල්ලා ගන්නට හැදූ සැලසුමක් එසේ බිඳ වැට්ටවූ නාවික හමුදාවේ යම් පිරිසක් අනතුරුව එම වැටලීම තමන් විසින් කළ වැටලීමක් බව මාධ්‍ය ඉදිරියේ ද කියන්නට ගත්තේය. පොලීසිය ඊට  මාධ්‍ය ඉදිරියේ ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඒ පොලිස් ඔත්තුකරුගේ ජීවිතය අවදානමකට ඒ වන විටත් ලක්ව තිබුණු බැවිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය එසේ වූවත් ඒ ගැන පොලිස් ප්‍රධානීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටියේය. ඒ අපේ රටේ මත්කුඩු ජාලයේ මහ මොළකරුවෙක් බේරා ගැනීමට යම් අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රීයාත්මක වූයේදැයි සැකහැර දැනගන්නටය.

 

 

 

Exit mobile version