රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින හාජ්ජියාර්වරයෙක් රාමසාන් උපවාසය වෙනුවෙන් පිං තකා කළ සල්ලි බෙදිල්ලක් කෙළවර වන්නේ ජීවිත තුනක් අහිමි වෙමිනි. එසේ මිය යන්නේ ඔහුගේ අතින් පන්දහසේ නෝට්ටුවක් ගැනීමට පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් තිදෙනෙකි. තවත් කාන්තාවන් අට දෙනෙක් ඇතුළු නව දෙනෙකුට සිදුවන්නේ රෝහල් ගත වන්නටය. ඒ මුදල් ලබාගැනීමට පැමිණි පිරිස අතර ඇතිවුණු තෙරපීමක් හේතුවෙනි.

අසල්වැසි ඉන්දියාවේ නම් මෙවැනි සිදුවීම් සුලභවය. මුදල් පමණක් නොව, බඩු මලු ගන්නට ගොසින් සිදුවන තෙරපීම්වලින් එකවර දහ පහලොස් දෙනා මිය යන අවස්ථාද එරටට අමුත්තක් නොවේ.  එහෙත් මෙවැනි තෙරපීමකින් මරණයක් සිදුවූ බවට අපේ  ඉතිහාසයේ නම් අසන්නටත් නැති තරම්ය.

එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය අස්සේ මිනිසුන් ඉන්නේ අන්ත අසරණ වී ය.  සියල්ල අවසනායේ අපට ඇසෙන්නේ රුපියල් පන්දාහක් වැනි මුදලක් ගන්නට ගොස් තෙරපී  මැරෙන මිනිසුන් ගැනය.


මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මාළිගාවත්තෙනි. මුදල් බෙදූ  මෙම හාජ්ජියාර් කාලයක් මාළිගාවත්තේ ජුම්මා මස්ජීට් පාරේ පදිංචිව සිටියෙකි. දැන් ඔහු පදිංචිව සිටින්නේ දෙහිවලය. ඔහුගේ පවුලේ සාමාජිකයන් 13 දෙනෙකි. ඒ සෑම අයෙක්ම යමක් කමක් ඇති අයය. ඒ අයවත් එකතුකරගනිමින් මෙම හාජ්ජියාර් කාලයක් තිස්සේම උපවාස කාලයට මුදල් බෙදන්නේ පිං තකාය.

මේ පිං තකා මුදල් බෙදන එකම හාජ්ජියාර් නොවේ. උපවාස කාලයට  මාළිගාවත්ත පැත්තේ කරක් ගැසුවොත් සල්ලි බෙදන හාජ්ජියාර්වරු කොතෙකුත් දැක ගන්නට පුළුවන. මාළිගාවත්ත රූබි සිනමා ශාලාවට යාබදව ඇති පල්ලිය ඉදිරිපිටද 20 වෙනිදා හාජ්ජියාර්වරයෙක් රුපියල් 2500 ක් සමග බඩු මල්ලක් බෙදා දුන්නේය. එම බඩු මල්ල බෙදා දුන්නේ කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් වලට අනුව මීටරයේ දුර තබාගෙනය.

එහෙත් මෙම හාජ්ජියාර් මුදල් බෙදන්නට සූදානම් වන්නේ සුපුරුදු ලෙසිණි. ඒ ජුම්මාස්ජිට් පාරේ ජුම්මා පල්ලියට යාබදව ඇති ඔහුට අයත් ගබඩා භුමියකදීය. සාමාන්‍යෙයන් සැම අවුරුද්දකම මේ දිනය දා හාජ්ජියාර් මුදල් බෙදන්නේය.  හාජ්ජියාර් මුදල් බෙදන්නට එන බව ඒ නිසා මාලිගාවත්තේ මිනිසුන් දන්නේය.  ඔහුගේ ගෝලබාලයින් හරහා මුළු මාළිගාවත්තම අද (21) ඒ ගැන තහවුරු කරගෙන සිටියේය. ඒ නිසාම හාජ්ජියාර් එහි එන තුරු බොහෝ දෙනෙක් බලා සිටියේ නොවිසිල්ලෙනි. ඒ මෙවර බෙදෙන්නේ රුපියල් 5000 ක් බව දැන සිටි බැවිණි.

හාජ්ජියාර් ගබඩාවට පැමිණ වැඩේ පටන් ගන්න යනවාත් සමග එකවරම ගබඩාව පිහිටි ස්ථානය පිරී යන්නේ එකම හිස් ගොඩකිනි. ඒ වන විට ඔහු බෙදන්නට රැගෙන විත් තිබෙන්නේ රුපියල් ලක්ෂ හතරක් පමණ වූ මුදලක් පමණි. ඒ මුදල රුපියල් 5000 බැගින් ගෙවිය හැකි වන්නේ 80 දෙනෙකුට පමණි. එහෙත් ඒ වන විටත් 300 කට වැඩි පිරිසක් ඒ ස්ථානයේ රැස්ව සිටියේය. තවත් දෙතුන් සියයක් මහා පාරේද පොරකමින් සිටියේය.

බාල මහළු වැඩිහිටි භේදයකින් තොරව හාජ්ජියාර් අතින් රුපියල් 5000 ගැනීමට පෝලිම් ගැසී සිටියත් අවසානයේදී පෝලිමකට වූ දෙයක් සොයා ගන්නට නොහැකි වන්නේ හාජ්ජියාර් සමීපයට එන්නට එකිනෙකා දැරූ උත්සාහය හේතුවෙනි. අවසානයේදී එකා පිට එකා වැටෙමින් ජනතාව මුදල් ගන්නට පොරකන්නට වූයේ මුදල් බෙදන්නටත් මත්තෙනි. පිනට දෙන රුපියල් 5000 ක් ගන්න පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් මිය යන්නේත් නව දෙනෙක් රෝහල් ගතව වන්නේත් එම තෙරපුම නිසාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියල්ලක්ම සිදුවන්නේ ඇදිරි නීතිය අස්සේය. එසේම නිරෝධායන සෞඛ්‍ය උපදෙස් නොතකමිනි. ඒ නිසාම හාජ්ජියාර් සහ ඔහුගේ සගයන් හය දෙනෙක්ට සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය. පොලීසිය පවසන්නේ ඒ අයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවකි. මෙම මුදල් බෙදිල්ල ගැන පොලීසියට දැනුම් දී පොලීසියේද සහයක් ඇතිව සිදු කළේ නම් මෙවන් අවාසනාවන්ත සිදුවීමක් නොවන්නට තිබුණු බව පොලීසියේ මතයයි.

 

Exit mobile version