රැළි පිට රැළි නගන කොරෝනා අර්බුදය මැද දකුණු කොරියාව

චතුර රුවන් වීරක්කොඩි-

සොවුල් නුවර සිට-

කොරෝනා වෛරසය සොයාගැණුන මුල් අවධියේ, චීනයට පසු වැඩියෙන්ම පීඩාවට පත් රට දකුණු කොරියාවයි. දිනකට අලුතින් හඳුනා ගැණුන ආසාදිතයන් සංඛ්‍යාව 500කට වැඩි වූ 1000ට අඩු වූ අවස්ථාද තිබිණ.
නමුත් දකුණු කොරියාව කොරෝනා මාරයාව පරාජය කරමින්ම සිටියි. දෛනික කටයුතු අඩාල වී තිබූ තේගු නගරය දැන් යළිත් පෙර සේමය. නවතා දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන සේවය (තෙක්පේ) හා නගරාන්තර පොදු ප්‍රවාහන සේවා දැන් නැවත කටයුතු අරඹා තිබේ.

දෙවැනි රැල්ල
එක් දිනකට අලුතින් හඳුනාගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව තනි ඉලක්කමේ අගයක් වන ගානට අඩුවෙමින් තිබියදී, එක්වනම් දකුණු කොරියාවේ අන්තර්ජාලය හරහා පාරිභෝගික භාණ්ඩ වෙළදාම් කරනු ලබන ‘කූපන්’ නැමැති සැපයුම්කාර ආයතනයෙහි සේවකයන් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය වූ බැව්  සොයාගැණින. එමෙන්ම සොවුල් නුවරට නුදුරු ඉතෙවොන් නගරයෙන්ද එකවර ආසාදිතයන් ප්‍රමාණයක් සොයා ගැණින. ඒත් සමඟම තනි ඉලක්කමේ ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉලක්කම් දෙකකට ඉහළ නැංවිණි.
හරියටම සති දෙකකට ඉහතදී මේ බැව් සියලූම මාධ්‍යයන් ඔස්සේ ජනතාව වෙත දැනුවත් කළ අතර ‘කූපන්’ බූචොන් ශාඛා කාර්යාලය වෙතින් භාණ්ඩ ඇනවුම් කර ගෙන්වාගත් පාරිභෝගික භවතුන් විශේෂ රෝග සායනයකට බඳුන් වෙන්නැයි රජය ඉල්ලීමක් කර තිබේ.  ඒ අනුව කළ පරීක්ෂාකිරීම් වල දී සැළකිය යුතු මට්ටමින් කොරෝනා ආසාදිතයන් පිරිසක් සොයාගැනීමට හැකි වී තිබේ.
විදේශිකයන් අතර බොහෝසෙයින් ජනප්‍රිය ඉතෙවොන් නගරය නොනිදන නගරයක් වේ. පහුගියදා මෙම නගරයෙන් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම නිසා මෙම නගරයේ රාත්‍රී සමාජශාලා, බීරහල්, ආපනශාලා, සවුනා හා පිහිනුම් තටාක ආදිය නැවත දැනුම්දෙන තුරු වසා දැමිණ. මෙහිදී වාර්තා වූ ආසාදිතයන් අතර වැඩිමනක් සිටියේ විදේශිකයන්ය. රාත්‍රී සමාජශාලා පරිහරණය කොට වෙනත් ප්‍රදේශවලට බැහැර වූ විදේශිකයන් ගැන තවමත් හෝඩුවාවක් නැති අතර ඉදිරියේ දී තවත් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.
අවසන් සති දෙක තුළ හදුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 604 දෙනෙක් වන අතර ඉන් බහුතරය සොවුල් අගනගරය ප්‍රමුඛ ක්යොංගි පළාතෙන් හමුවීම විශේෂත්වයකි. ඒ අනුව සොවුල් අගනුවරින් 139, ඉතෙවොන් නගරයෙන් 277, කූපන්- බූචොන් ශාඛාව මගින් 68ක් හා එක්තරා කායවර්ධන මධ්‍යස්ථානයකින් 51ක් ලෙස  දැක්විය හැක.
දැනට දකුණු කොරියාව තුළ හඳුනාගෙන සිටින ආසාදිතයන්ගේ සමස්ත එකතුව 11,902කි. ඉන් 10,611 දෙනෙක් සුවය ලබා ඇති අතර 276 දෙනෙකු මරණයට පත් වී තිබේ. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 1015 දෙනෙකි. ඉන් 15 දෙනෙක්ද අසාධ්‍ය මට්ටමෙහිය. නමුදු සති දෙකකට පෙර ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් පන්සිය ගණනකි. කොරෝනා පළමුවර රැල්ල නැංවීමට ක්‍රිස්තියානි පල්ලියක් මුල් වූවා සේම දෙවනවර රැල්ලට කූපන් සේවාව මුල් වී තිබේ.

ලෙඩේට ඇති බය නැතිව ගිහින්
නමුත් කොරියානු වැසියන් පළමු රැල්ලට දැක්වූ තරම් බියක් දෙවන රැල්ලට දක්වතැයි පෙනෙන්නට නැත. ගිය වර සම්පූර්ණයෙන් වසා දැමූ පාසල් දැන් ව්‍යාප්තිය අඩු පළාත් අනුව විවෘත කර තිබේ. නමුත් ඩෙස්ක් පුටු අතර පවත්වා ගතයුතු අවම පරතරයක් හා පිළිපැදිය යුතු දැඩි නීති මාලාවක් මත මේ සියලු දෑ සිදු කෙරේ. තවමත් පුස්තකාල හා ප්‍රසිද්ධ ශාලා ආදිය සම්පූර්ණයෙන්ම කටයුතු ආරම්භ කර නොමැති අතර සෙනඟ ගැවසෙන ආකාරයේ රජයේ ආයතන හා කාර්යාල වසා දමා ඇත.
එසේම ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොල සම්පූර්ණයෙන්ම වැඩ අරඹා ඇති බවක් පෙනෙන්නට නැත. සමහර ගුවන් සමාගම්වලින් සතියකට එක් යානය බැගින් පියාසර කරන අතර අත්‍යාවශ්‍යම රටවල් කිහිපයකට පමණක් ගුවන් ගමන් යොදවා තිබේ. මේ තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්වන්නේ අගෝස්තු මාසයේ බවයි බලධාරීන් පවසන්නේ.
කොරියාවෙන් ලංකාවට මාස කිහිපයකින් එක ගුවන් යානයක් හෝ ගමන් කර නැති අතර මේ නිසා වීසා කාලය අවසන් වූ ශ්‍රී ලාංකිකයෝ සිය ගණනක් මව්බිමට යා ගත නොහැකිව කොරියාව තුළ සිරවී සිටිති.
ප්‍රධාන රෝහල් සියල්ල තවමත් මාස ගණනකට ඉහතදී අනුගමනය කළ දැඩි නීති පිළිවෙත් එලෙසින්ම පවත්වාගෙන යනු ලැබේ. සමහර රෝහල්වලට ඇතුළු වීමට පෙර පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම අනිවාර්ය කර තිබේ. සාමාන්‍යයෙන් කොරියාවේ සියලුම ආයතනවලින් මොනයම්ම හෝ ප්‍රමාණයකට තම පාරිභෝගිකයා හෝ අමුත්තා පරීක්ෂා කර බැලීම සාමාන්‍ය දෛනික ක්‍රියාවක් බවට පත්ව තිබේ.
ව්‍යාප්තිය වැළැක්වීම සදහා ප්‍රජාව මෙහෙයවීම, රජයේ න්‍යායපත්‍රය වුවද බහුතරයක් කොරියානුවන්ගේ එම උත්සාහය මේ වනවිට නාස්ති වී ඇති බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුං ස්යේ ක්යුං මහතා ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව බදාදා දිනයේදී ආසාදිතයන් 50ක් අලුතින් සොයාගැනීම වියහැකියි. ඒ අතරින් 43 දෙනෙකු ස්වදේශිකයන් හා 7 දෙනෙක් විදේශිකයන් වන බව වාර්තා වේ.


ලාංකිකයනුත් පෙළන රැකියා අර්බුදය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා ව්‍යසනය හේතු කරගෙන දකුණු කොරියාව තුළ හටගත් රැකියා අර්බුදයට තවමත් එහෙම් පිටින්ම විසඳුම් ලැබී නැත. ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාවට යම් යම් සහන සැපයීමට සමහර ප්‍රදේශවල පාලනාධිකාරීන් කටයුතු කර තිබූ අතර හඳුනාගනු ලැබූ අවස්ථාවෙ සිට සියලු ආසාදිතයන් සුවය ලබන තෙක් රජය විසින් ප්‍රතිකාර වියදම් දරනු ලැබේ.
එමෙන්ම මේ දිනවල දකුණු කොරියාවේ පවතින උණුසුම් දේශගුණය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු ක්‍රියාකාරී සෞඛ්‍ය කාර්යාංශවලට තම කටයුතු කරගැනීමට විශාල බාධාවක් වී තිබේ. පහුගිය සතිය පුරාවටම සෙල්සියස් අංශක 30ට ආසන්න උෂ්ණත්වයක් පැවතීම නිසා ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් වැසුණු එම කාර්ය මණ්ඩල පණපිටින් තැම්බෙන ජීවින් මෙන් වේදනා විදින්නට සිදුව තිබේ. තවද ඔවුන්ට සමේ රෝග ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට උද්ගත වී ඇත.
මේ සියල්ල සමඟින් කොරියාව කොරෝනා අභියෝගයට මුහුණ දෙන ආකාරය විශිෂ්ටය.

 

 

Exit mobile version