රතුමුහුදේ අත්හැර දැමූ මිනිස්සු ලංකාසරට කතා කරති.

ආවෙ සමුද්‍රාරක්ෂක සේවයට... ඒත් වැටුප් නෑ,.. කෑම නෑ... යාත්‍රාව ප්‍රතිසංස්කරණය කළ ට්‍රෝලර් එකක්... 8ක් ඉන්න යාත්‍රාවේ 180ක් ඉනන්වා.

ග්‍රේ ෆාම් යාත්‍රාව....

සමුද්‍ර ආරක්ෂක සේවාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු සහ ලොව විවිධ රටවලට අයත් 115 දෙනෙකු ඇතුළු 180 දෙනෙකු මාස ගණනාක් රතු මුහුදේ අබලන්  නෞකාවක් තුළ ගතකරන දුක්ඛිත ජිවිත පිළිබඳ ලංකාසර ට වාර්තා වේ.

අටදෙනෙකුට ගමන් කළ හැකි ප්‍රතිසංස්කරණය කළ  ධීවර යාත්‍රාවක මාස ගණනක් යන්තමින් ජීවත්වන 180ක් වූ මේ සමුද්‍රාරක්ෂකයන් ඔවුන්ගේ මව් සමාගම විසින් අත්හැර දමා ඇත.  මෙතෙක් කාලයක් තමන්ට හිමි  වැටුප් තබා ප්‍රමාණවත් ආහාර හෝ ඖෂධවත් රහිතව මේ මිනිස්සු නොමැරී ඉන්නට වෙර දරති.

රතු මුහුද මැද හුදකලා කළ එම නෞකාවේ සේවයේ නියුතු පොලොන්නරුව නවගරය ප්‍රදේශයේ පදිංචි පිටපු නාවික හමුදා සාමාජික කැලුම් නිශාන්ත දිසානායක  දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ලංකාසරට හැකි විය. මේ අද ( 06) ඔහු සමග කළ සජීවී දුරකථන සංවාදයේ සටහනය.


ප්‍රශ්නය – ඔබේ රැකියාව කුමක් ද?. එය හඳුන්වන්නේ කෙසේ ද?

පිළිතුර – මම වැඩ කරන්නෙ සමුද්‍ර ආරක්ෂක සේවාවෙ.

ප්‍රශ්නය – ඔබ කරන රැකියාවේ ස්වරූපය කුමක් ද?

පිළිතුර – අප කරන්නෙ ජාත්‍යන්තර වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම

ප්‍රශ්නය – ඔබ සමුද්‍ර ආරක්ෂණ සේවයේ රැකියාවට බැඳෙන්න පෙර කළ රැකියාව කුමක් ද?

පිළිතුර – මම ශ්‍රී ලංකා නාවික හමුදාවෙ වසර 22ක් සේවය කළා. වර්ෂ 2018 මැයි මස 19 වැනිදා මා විශ්‍රාම ගියා. ඒ සමුද්‍ර හා හමුදාමය අත්දැකීම්  මතයි මා මේ සේවයට සම්න්ධ වන්නෙ.

ප්‍රශ්නය – ඔබ මේ  සමුද්‍රාරක්ෂක සේවයට බැඳුනෙ කවදා ද?.

පිළිතුර – වර්ෂ 2018 අගෝස්තු මාසෙ..

ප්‍රශ්නය –  මේ රැකියාව ලබාගන්න  මග පෑදුනේ කොහොම ද?

පිළිතුර – මේ සමුද්‍රාරක්ෂක සේවයෙ ඉන්නෙ ඕනෑම රටක හමුදා සේවයේ නිරතව සිට ඉන් විශ්‍රාම ගිය අයයි.ඒ අනුව තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. අප සේවයට බඳවා ගත්තෙ ඉන්දියන් සමාගමක්

රාත්‍රිය ගත කරන අයුරු

ප්‍රශ්නය – ඔබ දැනට සේවය කරන නෞකාවෙ නම කුමක් ද?

පිළිතුර – ග්‍රේ ෆාම් කියන නෞකාවෙ තමයි අපි සේවය කරන්නෙ. මෙය ස්පාඤ්ඤයට අයත් නෞකාවක්.  ඇත්තටම මෙය නාවික නොවෙයි. ධීවර මුහුදු යාත්‍රාවක්. එය අදාල සමාගම විසින් ප්‍රතිසංස්කරණය කර නැවක් හැටියට භාවිතා කරනවා. අප මේ කරන රැකියාව ඉතාම භායනක රැකියාවක්. ඉතින් එවැනි රැකියාවකට මෙවැනි අබලන් තත්වයේ තිබෙන ට්‍රෝලර් යාත්‍රාවක් භාවිතා කරන්න තහනම්.

ප්‍රශ්නය – ඔය නෞකාවෙ, එහෙමත් නැතිනම් ට්‍රෝලර් යාත්‍රාවෙ තිබෙන  පහසුකම් මොනව ද?

පිළිතුර – කිසිම පහසුකමක් නෑ. මෙහි නවාතැන් ගත හැක්කෙ 40 -50 අතර ප්‍රමාණයකට  පමණයි. නමුත් දැන් 180ක් ඉන්නවා…

ප්‍රශ්නය –  ඔබ ඔය කියන 180ම ලංකාවෙ අය ද?

රෝගියෙකුට ප්‍රතිකාර කරමින්

පිළිතුර– නැහැ… ලංකාවෙ අය ඉන්නෙ 64ක් පමණයි.  අනෙක් අය විවිධ රටවලින් පැමිණි අය. ඉන්දියාව, නේපාලය, චීනය, යුක්‍රේනය, බ්‍රිතාන්‍යය ආදී වශයෙන් රටවල් ගණනාවක අය ඉන්නවා. අපි හැමෝම දැඩි දුෂ්කරතාවයක ඉන්නෙ. අපට අපේ දුක කියන්න කෙනෙක් නෑ.

ප්‍රශ්නය – ඇයි ඔබ සේවය කරන සමාගම ඔබට වග කියන්නෙ නැද්ද?. එවැනි නිලධාරියෙක් යාත්‍රාව තුළ නැද්ද?

පිළිතුර –  කැප්ටන් කෙනෙක් ඉන්නවා. එයත් අසරණයි. වගකීම ගන්න කෙනෙක් නෑ…

ප්‍රශ්නය – දැන් ඔබ සිටින නෞකාව තබෙන්නෙ කුමණ රටක් ආසන්නයෙ ද?

පිළිතුර –  අප දැන් ඉන්න තැන කිසිම රටකට අයත් නැහැ. දැන් අප ඉන්නෙ රතු මුහුද මැද. හරියමට කියනවා නම් උතුරු අක්ෂාංශ 8.24 සහ නැගෙනහිර දේශාංශ 62.01 ලෙස දැක්විය හැකියි.

නිදාගන්නා සිමිත ඉඩ

ප්‍රශ්නය –  ඔබ කියන ඔය ස්ථානයේ දැන් කොපමණ කල් ඉන්නව ද?

පිළිතුර – මෙතැන මාස ගණනාවක් ඉන්නවා. සිංගප්පූරුව, චීනය, වැනි රටවල සිට රතු මුහුද හරහා ගමන් කරන ජාත්‍යන්තර නෞකවලට ගොඩවී එම වැන් සෝමාලියාවේ දී කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කොල්ලකරුවන් ගැවසෙන  අධිආරක්ෂිත සීමාව පහුකරන තෙක් ගිනි අවිත් එක්ක අපි ඒ නැව්වල ගමන් කරනවා. එම සීමාව පසු වූ ගමන් අප වෙනත් නැවකට මාරු වෙනවා.

නමුත් අවාසනාවටක වගේ දැන් දිගු කාලයක සිට අපව මෙතැන සිරකරගෙන සිටිනවා. අපට වැඩු දෙන්නෙ නෑ.  කන්න හරියට දෙයක් නෑ. නැවටම තියෙන්නෙ වැසිකිලි දෙකයි. දිනකට ජලය ලබාදෙන්නෙ පැය 2ක් පමණයි. 180ක් ඉන්න තැනක මේ තත්වය ඔබට හිතා ගන්න පුලුවන් ඇති.

ආහාර පෝලිම

නිදාගන්න තැනක් නෑ, ලෙඩක් හැදුනාම බෙහෙත් නැහැ. මම තවමත් පාවිච්චි කරන්නේ මීට මාස දෙක හමාරකට කලින් නිවසින් ගෙනා ඖෂධ. මේ නැව තුළ විවිධ ලෙඩරෝගවලට මුහුණ පා සිටින අය ඉන්නවා. ඔවුන්ගේ ඒ දුක, වේදනාව  කියන්න කෙනෙක් නැහැ. මේ නැවේ සිටින අයට කුමන අසනීපයක් හැදුනත් තිබෙන්නේ පැරසිටමෝල් පමණයි…මේක නැවක් නෙවෙයි. අපායක්. මේ අපායෙන් අපව මුදවා ගත හැක්කේ ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිවරයාට පමණයි. ජනාධිපතිතුමා මැදිහත් උනොත් පමණයි.

අප සිටින තැන සිට ගොඩබිමිකට යන්න නාවික සැතපුම් 400කට වඩා ගමන් කළ යුතුයි. හදිසි අසනීපයක් හැදුනොත් නිසැකවම මැරෙන්න වෙනවා. කොරෝනා ලක්ෂණ තියන අයත් නැවේ ඉන්නවා. අප දන්නෙ නෑ හරියටම කොරෝනා රෝගය ද කියලා. එහෙම උනොත් අප සියලු දෙනාටම වෙන්නෙ රතු මුහුද මැද මිය යන්න.

අපි අතර ඉන්න කවුරුත් මාස ගණනාවකින් ගෙවල්වලට මුදල් යවලා නැහැ. මා දරු තිදෙනෙකුගේ පියෙක්. ඒ අයට ජීවත් වෙන්න විදිහක් නෑ. මෙවැනි ප්‍රශ්න ගණනාවකට අප මුහුණ පා සිටිනවා..

අප ඉල්ලා සිටින්නෙ මේ ඛේදජනක තත්වයෙන් අප මුදා ගන්නා ලෙසයි. මේ ගැන අප ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ වගේම සියත රූපවාහිනී සේවයට දැනුම් දුන්නා. මරණය දැක දැක ඉන්න අපි ඉක්මනින් අපේ ජිවිතවලට බලාපොරොත්තුවක් ගැන හිතමින් ඉන්නවා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය

Exit mobile version