රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට මිනී මරන්න නිවාඩු ගෙන පැමිණි හමුදා සෙබලා…

ඔහු හමුදාවෙන් පළවා හළ පුද්ගලයෙක් සමග කොස්ගොඩ සුජීගේ ඥාති ව්‍යාපාරිකයෙක් මරන්න ඇවිත්... බඩුත් එක්කම පොලිසියට කොටු!

ලලිත් චාමින්ද –

කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර අතර පවතින විරසකයේ ප්‍රතිඵලයක් ලෙස රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට අනුව කොස්ගොඩ සුජීගේ ඥාති සම්බන්ධයක් සහිත ව්‍යාපාරිකයෙක්  ඝාතනය කිරීමට පැමිණි කුලී ඝාතකයන් දෙදෙනෙක්  ඊයේ (08) ඇල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඝාතන ඉලක්කය වී සිටි මෙම ව්‍යාපාරිකයා  ඇල්පිටිය නගරාසන්නයේ  පිටුවල පාරේ පදිංචි පුද්ගලයෙකි. ව්‍යාපාරිකයා ඝාතනය කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ දැනට සක්‍රීය හමුදා සේවයේ සිටිනා හමුදා  පුද්ගලයෙක් සහ යුද හමුදා සේවයෙන් විනය හේතු මත ඉවත් කළ පුද්ගලයෙක්   බව පොලිසිය පවසයි.

මෙම හමුදා පුද්ගලයින් මීටියාගොඩ නවගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 හා 31 වයස්වල පසුවන්නන්ය. සේවයේ නියුතු යුද හමුදා පුද්ගලයා මෙම අපරාධය සඳහා පැමිණ ඇත්තේ නිවාඩු ලබාගෙනය.

කොස්ගොඩ සුජීගේ දුර ඥාතිකමක් සහිතවීම නිසා විදුරට ඉලක්ක වී ඇතැයි   කියන මෙම  ව්‍යාපාරිකයා  ඝාතනය සඳහා ඔහුගේ නිවස අසලට  කුලී ඝාතකයින් දෙදෙනෙක් පැමිණ සිටින  බවට ලද තොරතුරක් මත   ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇත.


වහාම  එම ස්ථානයේ වැටලීමක් කළ  පොලිස් කණ්ඩායමක් ඝාතනය සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයින් දෙදෙනා පිස්තෝලයක්,  ජීව පතොරොම් 10ක්, දුරකථන 03ක්,   ව්‍යාජ අංක තහඩු දෙකක්   සහ ඔවුන් පැමිණි යතුරුපැදිය ද සමග  අත් අඩංගුවට ගෙන  තිබිණි.

ඔවුන් මින් පෙර අවස්ථාවක ද ඝාතනයක් කිරීම සඳහා සැලසුම් කර යම් පළාතකට ගොස් එය අසාර්ථක වීමෙන් පසු නැවත පැමිණ ඇති බව විමර්ශන කටයුතුවල දී හෙළි වී තිබේ.

මේ වනවිට කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර අතර ඇති වී තිබෙන මිනී මරා ගැනීම් ඉතාම තුච්ඡ පහත් අඩියකට වැටී තිබේ. මත්ද්‍රව්‍ය සහ පාතාලයේ බලය වෙනුවෙන් ඔවුන් අතර ඇති වී තිබෙන ගැටුම නිසා මේ වනවිට පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති දෙපාර්ශවයේ ඥාතීන් ඝාතනය කරගැනීම ආරම්භ වී තිබේ.

මින් පෙර සුජී ගේ ඥාතියෙක් වූ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඝාතනය කිරීමට දැරූ උත්සාහය යන්තම් බේරුණේය. ඉන් පසු සුජී විදුරගේ මස්සිනා කෙනෙක් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මරන්න හැදුවේය. එයත් යන්තම් බේරුණේය. ඉන් අනතුරුව එකිනෙකාගේ ඥාතීහු දෙපාර්ශවයෙන්ම මරා දැමූහ.  පසුගිය සතියේ මාතර දී ඝාතනය වුන ඩී.වී.චානක රාජ්‍ය ඇමතිවරයාගේ මාමණ්ඩියගේ ඝාතනය ද ඒ ඝාතන ගොන්න අතරට එක් වී ඇති තවත් එක් ඝාතනයක් බව විමර්ශන අංශ විසින් හෙළි කරන් ඇත.

මේ පාතාලයන් දෙදෙනාම ඩුබායි තැන් දෙකක සිට ලංකාවේ තමන්ගේ සහරචරයන් මෙහෙයවමින් දෙපාර්ශවයේ ඥාතීන් මරා දමමින් සිටිති. මේ මොන ආකාරයේ පිස්සුවක් දැයි තේරුම් ගන්නට සාමාන්‍ය මිනිස්සුන්ට  විෂය නොවන මානසික තත්ත්වයන් පිළිබඳ දැනුමක් අවශ්‍යය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කුපාඩි මිනී මැරුම්වල කෙළවරක්  තිබිය යුතුය. එය කෙළවර කරන ආකාරය සම්බන්ධව තවමත් නිශ්ඡිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ මේ පාතාලයන් දෙදෙනා පසුපසම විශාල දේශපාලන හෙවනැලි වැටී ඇති නිසා දැයි අපට වැටහෙන්නේ නැත.

Exit mobile version