රටේ සැලසුම් කුඩු කළ කුඩ්ඩෝ කොවිඩ් පොකුරු හදපු හැටි

මත්කුඩු ජාවාරම්කරුවන් තමන්ගේ කුඩු බල ප්‍රදේශවල මිනිස්සුන්ට  අත්‍යාවශ්‍ය ආහාර මලු වෙනුවෙන්  මිලියන ගණනින් වියදම් කරලා

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට වගකිව යුත්තන් අතර ඉහළින්ම සිටින්නේ යැයි පොලිස් නීති දිසාවේ ලොක්කා වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරන්නේ මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ය. මේ වන විට මෙරටින් හමුවී ඇති කොවිඩ් 19 වෛරසය අසාධිත වූවන් 650 කට වැඩි පිරිස අතර මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් 14 දෙනෙක් සිටින බව ද අජිත් රෝහණ සදහන් කරයි. බැලූ බැල්මට මේ ගණන සමස්ත රොගීන් හා සැසදීමේදී සුළු සංඛ්‍යාවක් සේ පෙනුනද කොවිඩ් 19 මෙරට රෝගී චක්‍රය මේ තරමට ඉහළ එසවෙන්නේද මේ සුළු පිරිස නිසාය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන ආකාරයට අනුව මෙරට පළමු කොවිඩ් 19  ආසාධිත ශ්‍රී ලාංකිකයා හමුවන්නේ මාර්තු 11 වෙනිදාය. එදා සිට මැයි 01 වෙනිදා දක්වා මෙරටින් හමුවුණු කොවිඩ් 19 රෝගීන් ගණන 6– කි. මේ අතර වැඩි වශයෙන් ඇත්තේ පොකුරු වශයෙන් රෝගීන් හමුවීම්ය. ඒ පොකුරු ගණන 31 කි. යාපනය , පුත්තලම , රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතරින් එම පොකුරු 31 හමුවිය. මේ අතරින් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ පොකුරු රෝගීන් ගණන 100 කට වැඩිය. ඒ සිවිල් ප්‍රදේශයකින් හමුවුණු වැඩිම රෝගීන් ගණනය. මෙරට වැඩිම පොකුරු කොවිඩ් 19 රෝගීන් පිරිසක් හමුවන්නේ වැලිසර නාවික හමුදා කදවුරෙනි. දැනට හමුවී ඇති රෝගීන් ගණන 250 කට වැඩිය. තවදුරටත් වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් හමුවෙමින් ඇත.

‍නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ වැලිසරට මෙන්ම බණ්ඩාරනායක මාවතටද කොවිඩ් 19 ව්‍යාප්ත කළේ මත්ද්‍රව්‍ය භාවිතාවට ඇබ්බැහිවූවන් බවය. ඒ දෙකට පමණක් නොව, ජා-ඇල සුදුවැල්ලේත්, තොටළඟ නාගලගංවීදියේත් කොවිඩ් 19 ව්‍යාප්ත කිරීමේ වගකීම ඇත්තේ මත්කුඩු ලෝලීන්ටය. අපේ රටේ කොවිඩ් 19 ආසාදිතයින් බවට මෙතෙක් හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් සියයට පනහකට පමණ රෝගය වැලඳී ඇත්තේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකලාපයන් නිසාය.


මේ ගැන මුල සිටම පොලීසිය බලධාරීන්ට කොතෙකුත් කරුණු කීවත් ඊට නිසි අවධානය යොමු කරනවා වෙනුවට බන්ධනාගාරගතව සිටි මත්කුඩු වලට ඇබ්බැහි වූවන් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇප දී එළියට ගැනීමට ඒ අය උත්සාහ ගත්තේය. ඒ බන්ධනාගර තදබදයන් අවම කරන්නට යැයි කියාය.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව පවතින අවස්ථාවේදීත් ඇදිරි නීතිය අස්සේ මත්කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පොලීසිය මෙහෙයුම් දියත් කරන්නේ සමාජයට ඒ අයගෙන් එල්ලවන බලපෑමේ තරම දැන සිටි බැවිනි. අජිත් රෝහණ කියන ආකාරයට අනුව ඇඳිරි නීතිය පැවැති කාලය තුළ පොලීසිය කර ඇති මත්පැන් වැටලීම් ගණන 25000 කට වැඩිය. ඒ හා සමාන පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පැන් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ වරදටය. එසේම මත්කුඩු වැටලීම්ද 10000 ක පමණ ප්‍රමාණයක්ද මේ කාලය තුළ  කර ඇත්තේ 10000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ද ගනිමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් බුද්ධි අංශවලත් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මේ දිනවල මත්කුඩු වෙළඳාම නම් කිසිදු ලෙසකින් අඩුවී ඇති බවක් වාර්තා වන්නේ නැත. මත්කුඩු වෙළඳාමට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම බන්ධනාගාරයෙන් පිටත සිටින මත්කුඩු ජාවාරම්කරුවන් ඔවුන්ගේ බලඅධිකාරිය පිහිටි ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර මළු වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන්නේ එබැවිණි. ඒත් එක්කම ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ටද පොලීසියේ ඇතැම් මහත්වරුන්ටද වියදම් කරන්නේ මිලියන ගණන් වලිනි. ඒ මේ කාලය තුළ ඔවුන්ට ඉහළ ආදායමක් මත්කුඩු ජාවාරමෙන් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බැවිණි.

 

Exit mobile version