මහාචාර්ය විමල් ජී. බලගල්ලේ අද දැයෙන් සමුගනී…

තුෂාරී කළුබෝවිල –

විද්‍යොදය නැතහොත් (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයය ආරම්භයේ පටන් (1959.02.19) ඊට සම්බන්ධ වෙමින් විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි සහ සිංහල පිළිබඳ කථිකාචාර්ය, සිංහල මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප්‍රධාන, භාෂා පීඨාධිපති, ශාස්ත්‍ර පීඨාධිපති, මණ්ඩපාධිපති, වැඩ බලන උපකුලපති යන තනතුරු දරමින් වසර තිස්දෙකකට වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේත්, සිංහල භාෂාවේත් අභිවර්ධනය උදෙසා ඉමහත් සේවාවක් කළ මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත වූයේ ය.

මිය යනවිට වයස අවුරුදු 96ක් වූ ඒ මහතා සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳ ප්‍රකට පඬිවරයකි.

1924 නොවැම්බර් මස 24 වන දින ගම්පහ, හාපිටිගම් කෝරළේ, බලගල්ල ප්‍රදේශයේදී උපන් ඒ මහතාගේ පියා කන්නංගර පතිරන්නැහෙලාගේ පීරිස් අප්පුහාමි වූ අතර මව එන්සො නෝනා රණසිංහ නම් වූවා ය. උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ද පසුව පල්ලේවෙල වික්‍රමශිලා පරිවෙණෙන් නේවාසිකව ද ඉගෙනීමේ කටයුතුවල නිරත වූ ඔහු
1950 වසර මුලදී පැවති ප්‍රාචීන අවසාන (පණ්ඩිත උපාධි) විභාගයට පෙනී සිට ගෞරව පන්තියේ ලකුණු හා විෂය ත්‍යාගද සහිතව සමත්ව ප‍්‍රමුඛස්ථානයට පැමිණීමෙන් ‘ප‍්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව’ ද දිනා ගත්තේය.
1952 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඒ මහතා


1956 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය උසස් සාමර්ථ්‍යයක් සහිතව ලබා විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයක් ලබා ගත්තේ ය.
ගංගොඩවිල රේවත මහා විද්‍යාලයේ ආචාර්වරයකු ලෙස උදේ කාලයේත්, විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සවස් කාලයේත් ඔහු ඉගැන්වීමේ කටයුතුවල නිරත වූයේ ය. විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කර ගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමී වූ එතුමෝ

යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවක් ලබමින් පර්යේෂණ කටයුතුවල යෙදෙමින් සිටින අතරතුරදී ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා පර්යේෂණවල ද නිරත වෙමින් පශ්චාද් උපාධි පුහුණුවක් ලැබූ එතුමා ඒ කාලයේදී ම ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් රාජකීය ඩෙනිෂ් ඇකඩමිය මගින් සම්පාදනය කළ විවේචනාත්මක පාලි ශබ්දකෝෂයේ සංස්කාරක හා උපදේශක වශයෙන්ද කටයුතු කර ඇත.

1988 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ඇසුරින් සිංහලයේ ශබ්ද විචාරාත්මක ගැටලූ කීපයක් පිළිබඳ ව ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අප්‍රකට ග‍්‍රන්ථ පරිශීලනය කරමින් ද පර්යේෂණ කටයුතුවල නිරත වී ඇත.

බලගල්ලේ මහාචාර්යතුමා වයස තිස්පහේදී මහාචාර්ය ධුරයට පත් ව ඇති අතර සම්මාන ආචාර්ය උපාධිය හිමිව ඇත්තේ ඉන් පසුව වීම විශේෂත්වයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් 1990 එතුමා විශ්‍රාම යන මොහොත දක්වා අධ්‍යයනාංශ කමිටුව, පීඨ මණ්ඩලය, සනාතන සභාව, පාලක සභාව, පර්යේෂණ කමිටුව ආදි විවිධ මණ්ඩලවල කටයුතු කර ඇති අතර
එතුමන් විසින් ග්‍රන්ථ සහ ලිපි රැසක් සම්පාදනය කර ඇත.
පංචතන්ත්‍රයේ අනුවාදය, ෆාහියන් තෙරුන් වහන්සේගේ දේශාටන වාර්තාවේ අනුවාදය, සිංහල ස්තූපවංශ සංස්කරණය (මහාචාර්ය විමල විජයසූරිය මහතා සමග), භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය, සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසය, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්: සිංහලයේ වාග්විද්‍යාත්මක ස්වරූපය ආදි වශයෙන් වූ එතුමාගේ ග්‍රන්ථ සිංහල භාෂාවේ ඉතිහාසය හා ඓතිහාසික වාග්විද්‍යාව සම්බන්ධ විශිෂ්ට පර්යේෂණයන් ය. මීට අමතරව එතුමා විසින්භාෂා සාහිත්‍ය, අධ්‍යාපනය, සාහිත්‍ය විචාරය, දේශීය සංස්කෘතිය, ඉතිහාසය යනාදි විෂයයන්ට අදාළ ව ද ලිපි බොහෝමයක් ලියා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන උපදේශක මණ්ඩලය, පාරිභාෂික ශබ්දමාලා උපදේශක මණ්ඩලය, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය, ප්‍රාචීන භාෂෝපකාර සමාගම, බුද්ධ ශ්‍රාවක ධර්මපීඨ විෂය නිර්දේශ සම්පාදක මණ්ඩලය ආදියෙහි ද එතුමා සක්‍රීයව කටයුතු කර ඇත.

සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයෙහි සේවය කිරීමට අමතරව එතුමා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහාචාර්ය බලගල්ලේ සූරීන්ගේ දේහය 17 වැනිදා (අද) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයට අවසන් ගෞරවය දැක්වීම සඳහා රැගෙන ගිය අතර අවසන් කටයුතු අද සවස මහරගම දී සිදු කෙරේ.

Exit mobile version