මරණය දැක දැක කුවේට් ශ්‍රී ලාංකිකයන් කියන කතාව

ජාති ආගම් භේදයකින් තොරව රොටියකට පෝලිමේ ඉන්න කුවේට් හි විදේශික මිනිස්සු

ජයලාල් බමුණුආරච්චි –

“කුවේට් වල ඉන්න අය මොකට ගෙන්වනවද? ඒ අය හින්දා තමයි දැන් ලෙඩ්ඩු වැඩි වෙන්වෙන්නේ“

ප්‍රවෘත්ති බලමින් සිටිදී ගෙදර අයෙකු පැවැසුවේ ආවේගයෙනි.

“ඒ මිනිස්සු කොහෙ යන්නද?“


දුරදිග ගිය කතාව අවසාන වූයේ දේශපානඥයන්ටද බැණ වැදිමෙනි.

කොහොම වුණත් කුවෙට් හි සිටින ශ්‍රිලාංකිකයන්ගේ අසරණකමට පිහිට වන්නට මේ වන විටත් කිවෙක් සෘජුව ඉදිපත් වී නැතැයි එහි වෙසෙන බොහෝ දෙනෙකු පවසන්නේ කණගාටුවෙනි.

ගෑස් පෝලිම

“අපි මේ රටට අවේ කීයක් හරි හම්බ කරගන්න. මම ලංකාවෙන් ආවේ දෙදාහා වසරේ. ඉන් පස්සේ මෙහදි හමු වු ලංකාවේ එක්කෙනෙක් සමඟ විවාහ වුණා. විවාහයෙන් පස්සේ අපි දෙන්නාම මෙහෙ පදිංචියට ආවා. නිවෙසක් කුළියට අරගෙන තමයි ජීවත් වෙන්නේ. මෙහෙ ගෙවල් කුලිය වැඩියි. අපේ ගෙදර තවත් කිහිප දෙනෙකුට කාමර දුන්නා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා . එයාලා යන්නේ මෙහෙ ඉස්කෝල වලට. අපි කිසිම කරදරයක් නැතිව ජීවත් වුණා. එත් කොරොනා වයිරසය මේ රටේ පැතිරීමත් සමඟ අපේ ජීවිත අනිත් පැත්ත හැරුණා. දැන් අපට රස්සාවල් නැහැ. ටැක්සි නතර කෙරුවා. ඒ නිසා ටැක්සි වැඩ කරපු අයට කිසිම ආදායමක් නැහැ. අපි තාමත් අතේ ඉතිරි කරගෙන හිටපු දේ වියදම් කරගෙන කාලාබීලා ඉන්නවා. ගෙවල් අයිතිකාරයා කුලිය ඉල්ලනවා. ඒක දෙන්න අපට සල්ලි නැහැ. තාම නම් ඒ අය මුකුත් කිව්වේ නැහැ. අපි ඉන්නේ ගමක වගේ. අපි මේක ඇතුලේ කොටුවෙලා ඉන්නේ. කවදාවත් මෙහෙම දෙයකත් වේවි කියලා හිතුවේ නැහැ. ලංකාවට එන්න හැදුවත් අපිට අරන් එන්න දේකුත් නැහැ. මම මේ කියන්නේ මා ගැන විතරක් නෙමෙයි. මෙහෙ ඉන්න හුඟක් දෙනාට අද වෙලා තියෙන්නේ මෙහෙමයි. අපි ලංකාවේ රජයට අපිව ගෙන්න ගන්න කියලා බල කරන්නේ නැහැ. නමුත් මෙහෙ රජයෙන් අපිට ලැබෙන සහනයකුත් නැහැ. ලංකාවේ ගොඩක් අයට දැන් කොරෝනා බෝවෙලා. ඒ ඔක්කොටම වඩා අපේ හුඟක් අය අසරණ වෙලා තියෙන්නේ වෙනත් ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න විදිහක් නැතිව. “

ජෙනට් දුරකථනය ඔස්සේ කතා කරමින් පවසා සිටියේ හැඬු කඳුළිනි.

සහනාධාර පෝලිමක් මහල් නිවාසයක ජනේලයෙන් පෙනුණ අයුරු

මුළු රටේම ඇඳිරිනීත දැම්මේ ගිය මාසේ. කුවෙට් අයගේ ගෙවල් වල වැඩ කරන අයට නම් තාම ලොකු ප්‍රශ්නයක් නැහැ. එයාලට කන්න බොන්න ලැබෙනවා. දැන් කොටසක් ලංකාවට ආවා. ඒ ආවේ මෙහෙ අකාමා නැති පාස්පෝට් තියෙන අයගෙන් කොටසක්. තාවකාලික පාස්පෝර්ට් තියෙන අයට එන්න වුණේ නැහැ.  හැමෝම අසරණයි. කඳවුරු වලත් කොටසක් ඉන්නවා. කොරෝනා එන්න කලින් ලංකාවේ අය කොහොම හරි රස්සවා කරගෙන ජීවත් වුණා. මේ මිනිස්සු ලංකාවෙන් ඇවිල්ලා මෙහෙ හම්බ කරන මුදල් ලංකාවට යැව්වා මිසක් බොහෝ අය ළඟ ඉතිරි කරපු දෙයක් නැහැ. අකාමා එක නැති අයට රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න බැහැ. ඒ නිසා බොහෝ අය බෙහෙත් ගත්තේ ප්‍රයිවෙට් තැන්වලින්. දැන් ප්‍රයිවෙට් ඩිස්පැන්සරි වහලා දාලා. මේ නිසා අර මිනිස්සුන්ට රජයේ රෝහල්වලට යන්නත් බැහැ. බෙහෙත් ගන්න විදිහකුත් නැහැ. දියවැඩියාව, ප්‍රෙෂර්, හෘද රෝග ආදිය තියෙන අය බෙහෝම අසරණ වෙලා ඉන්නේ.

අප  දන්න ලංකාවේ අක්කා කෙනෙක් ඉන්නවා පිළිකා රෝගයෙන් පෙළෙන ඇයට ලංකාවට යන්න විදිහක් නැහැ. පසුගිය දවසක ලංකාවේ කෙනෙකු ගේ නෝනා මැරුණා. ඔහු බැඳලා හිටියේ ඉන්දුනීසියානු කාන්තාවක්. දරුවොත් ඉන්නවා. දරුවෝ තුන් දෙනා සමඟ ඔහු අසරණයි . අපි දන්න අය එකතු වෙලා රුපියල් හැත්තෑ දහසක් පමණ එකතු කරලා දුන්නා.

ලංකාවේ ගොඩක් අය සැලුන් කෙරුවේ. තවත් අය ටැක්සි ඩ්‍රැයිවර්ලා හැටියට වැඩ කළේ. මේ අයට තමයි මුලින්ම රස්සාව නැති වුණේ. දැන් බොහෝ අයට ගෙවල් කුලිය ගෙවා ගන්න බැහැ. ගෙවල් කුලිය ගෙවන්නේ නැති වුණාම විදුලිය කපනවා. වතුර කපනවා. රිග්ලා කියන ගමේ ඉන්නවා පවුල් දහයකට වඩා කොරෝනා වැළඳුන අය. අපිට විතරක් නෙමෙයි කෑම හිඟයි මෙහෙ අයටත්. හිටපු ගමන් සහන දෙන්න එන්වා. මිනිස්සු සහනාධාර අරගෙන එනවා කියලා දැන ගත්තාම වරු ගණන් පෝලිමේ ඉන්නවා. එත් මුල හරියට බෙදා දුන්නාම ඉවරයි. අවසානේ ඉන්න අයට මුක්ත් නැහැ. මෙහෙ රොටියක් තියෙනවා…. බොහෝම ලාබෙට එ්ක විකුණන්නේ. ඒ රොටිය ධනපතියනුත් කනවා. දුප්පත් අයත් කනවා. මේ රටේ රජයෙන් කවදාවත් ඒකේ ගාන වැඩි කරන්නේ නහැ. නමුත් දැන් එ්ක ගන්නත් මිනිස්සුන්ට පුදුම වදයක් විදින්න වෙලා තියෙන්නේ… මීටරයේ දුරින් ඉන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වාට මේ රටේදි කෑම පෝලිම් වල එහෙම ඉන්න බැහැ.“

කුවෙට් වල කාලයක් තිස්සේ ජීවත් වන සංජීව අද තමන් ඇතුළු ලාංකිකයන්  බොහෝ දෙනා කුවෙට්වල ගතකරන ජීවිත පිළිබද පැවැසුවේ එසේය.

කුවෙට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ක්‍රියා කිරිමේ අයිතිය ඇත්තේ කුවෙට් තානාපති කාර්යාලයටය. මේ වන විට ඔවුන්ද අසරණය. ඒ කුවෙට් හි අසරණ වූ  ශ්‍රී ලාකිකයන්ට හෙට දවසේදී කුමක් කරන්නේද යන්න පිළිබඳ පැහැදිළි තිරණයක් ගැනීමට නොහැකිවය.

“ මෙහෙ කොරෝනා රෝගීන් පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙලක් තියෙන බව අපට නම් දැනෙන්නේ නැහැ. රජයෙන් දැනුම් දී තියෙන්නේ පැරසිටමෝල් බොන්න . තමන්ගේ නිවසේ රැඳි සිටින්න කියලා. කුවේට් ඉඳලා ලංකාවට ගිය අයට රෝගය බෝ වුණේ ඔවුන් එක ගොඩේ රැඳිලා හිටපු නිසා . හැමෝම ඉන්නෙ එකම ප්‍රශ්නයක.  අපි ලංකාවේ රජයට බලකරන්නේ නැහැ අපිව ගෙන්වා ගන්න කියලා. අපිට මේ රටේ රජයට බලකරන්නත් බැහැ අපි වෙනුවෙන් දෙයක් කරන්න කියලා. මොකද මේ රටේ අය වෙනුවෙන්වත් ඒ රජයට පැහැදිලි වැඩ පිළිවෙලක් නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ මෙරට දුක් විඳින අපි හම්බ කරපු හැම සතයක්ම ලංකාවට එව්වා. අපි ලංකාවේ ආර් ථිකයේ ප්‍රබල කොටස් කරුවෝ. එහෙම හිටපු අපිට රට විරුවෝ කියලයි ඒ දවස්වල කවුරුත් කිව්වේ. එත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ දැන් අපිට ඇයි මිනිස්සු මේ විදිහට ගරහන්නේ. මැද පෙරදිග රටවල ඉන්නෙත් ලංකාවේ අය. කුවෙට්වල සවුදිවල ඉන්න අය ගෙන්වන්න එපා කියලා මොරහඬ දෙන්නේ නැතිව මෙහෙ හිරවෙලා අසරණ වෙලා ඉන්න ශ්‍රීලාංකිකයෝ ගැන මානුෂික විදිහට හිතන්න කියලා තමයි මම නම් කියන්නේ.

කුවෙට් වල වැඩ කරපු ලංකාවේ  අක්කා කෙනෙක්ව ඒ ගෙදරින් එළියට දාලා. එයා දැන් පේව්මන්ට් එකේ ඉන්නවා. තව අක්කා කෙනෙක් මෙහෙ රජාට බැන්නා කියලා ඊයේ පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා.එයා අසභ්‍ය වචනයෙන් සිංහලෙන් බැනලා තියෙන්නේ. මෙහෙ අය සිංහල දන්නේ නැහැනේ. මුහුණු පොතේ ෂෙයාර් වෙච්ච විඩියෝ එක කවුරු හරි රජයේ නිලධාරියෙක්ට පෙන්නලා එක කියලා දෙන්නැති. මිනිස්සුන්ගෙ පීඩනය එහෙම පිටවෙනවා. ඒත් ඒ කිසිම දෙයක් දිහා මේ රටේ කවුරුත් උපේක්ෂාවෙන් බලන්නෙ නෑ.“

කුවෙට් හි වෙසෙන ප්‍රියන්ත අද එහි ලාංකිකයන්ට අත් වී ඇති ඉරණම ගැන පැවැසු වේ එලෙසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයම බිය වී සිටින කොවිඩ් 19 වෛරසය ඒ ඒ රටවල හෙට දවස තීරණය කරන්නේ පුදුමාකාර ලෙසය. ආර්ථික වශයෙන් මහත් අර්බුදයකට හෙට ලෝකයටම මුහුණ දීමට සිදුවනු ඇත. එවන් වතාවරණයක් යටතේ කුවෙට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හෙට දවස කෙසේ වේවිද?.  මොවුන් වෙනුවෙන් යම් ක්‍රමවත් වැඩ පිළිවෙක් ක්‍රියාත්මක වේ නම් මේ අවස්ථාවේ අසරණ වී සිටින කුවෙට් ශ්‍රී ලාංකිකයන්ට සහනයක් වනු ඇත.

 

 

Exit mobile version